|
| 1 |
|
| එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. |
|
| 2 |
|
| ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී, |
|
| 3 |
|
| ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක. |
|
| 4 |
|
| එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක; |
|
| 5 |
|
| එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක. |
|
| 6 |
|
| දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත. |
|
| 7 |
|
| ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’ |
|
| 8 |
|
| තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ. |
|
| 9 |
|
| “ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට, |
|
| 10 |
|
| සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජ වූ පාරාවෝ ඉදිරියෙහි වරප්‍රසාදයත් ප්‍රඥාවත් ඔහුට දුන් සේක. පාරාවෝ තෙමේ මිසරයට ද තමාගේ මුළු රජ ගෙදරට ද, පාලකයා ලෙස ඔහු පත් කෙළේ ය. |
|
| 11 |
|
| එකල මුළු මිසර දේශයෙහි ද කානාන්හි ද සාගතයක් ඇති වූයෙන් මහත් විපත්තියක් ඇති විය. අපගේ පියවරුන්ට කිසි ආහාරයක් නොමැති විය. |
|
| 12 |
|
| එහෙත් මිසරයෙහි ධාන්‍ය ඇති බව ජාකොබ් අසා, පළමු වරට අපේ පියවරුන් එහි යැවී ය. |
|
| 13 |
|
| දෙ වන වාරයේ දී ජෝසෙප් තම සහෝදරයන්ට හඳුන්වා දෙනු ලැබී ය. පාරාවෝට ද ජෝසෙප්ගේ වංශය හෙළි විය. |
|
| 14 |
|
| එකල ජෝසෙප් තම පිය වූ ජාකොබ් ද හැත්තෑපස්දෙනෙකුගෙන් යුත් ඔහුගේ සියලු ඥාතීන් ද කැඳවා යැවී ය. |
|
| 15 |
|
| ජාකොබ් මිසරයට ගියේ ය. එහි දී ඔහු ද අපගේ පියවරු ද මියගියහ. |
|
| 16 |
|
| ඔව්හු ෂෙකෙම් නුවරට ගෙන යන ලදුව, ෂෙකෙම්හි හේමොර්ගේ පුත්‍රයන්ගෙන් ආබ්‍රහම් රිදී මිල ගණනකට ගත් සොහොන් ගෙය තුළ තැන්පත් කරනු ලැබූ හ. |
|
| 17 |
|
| “දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ළංවෙත් ම, අපේ ජනයා මිසරයෙහි වැඩී වර්ධනය වූ හ. |
|
| 18 |
|
| එකල ජෝසෙප් ගැන නොදත් අන් රජෙක් මිසරයේ රජකමට පත් විය. |
|
| 19 |
|
| ඔහු අප ජාතියට විරුද්ධ ව යටිඋගුල් අටවා, අපගේ ළදරුවන් මැරී යන ලෙස පිටතට දමන්නට අපගේ පියවරුන්ට බල කෙළේ ය. |
|
| 20 |
|
| මෝසෙස් උපන්නේ මේ කාලයේ දී ය. ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුන්දර දරුවෙක් විය. ඔහු ස්වකීය පියාගේ ගෙදර තුන් මසක් ඇතිදැඩි කරනු ලැබී ය. |
|
| 21 |
|
| ඉන්පසු ඔහු ඉවත දමනු ලැබූ කල පාරාවෝගේ දුව ඔහු රැගෙන, ඇගේ ම පුත්‍රයා මෙන් ඇතිදැඩි කරගත්තා ය. |
|
| 22 |
|
| මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය. |
|
| 23 |
|
| “මෝසෙස්ට සතළිස් වසක් පමණ වූ විට, ඉශ්රායෙල් පුත්‍රයන් වන තම නෑදෑ පිරිස බලන්නට යාමට ඔහුගේ සිතේ අදහසක් ඇති විය. |
|
| 24 |
|
| ඉශ්රායෙල්වරුන්ගෙන් කෙනෙකුට අයුක්තියක් කරනු දැක, ඔහුට පක්ෂ ව, මිසරයාට පහර දී, පීඩා කරනු ලැබූ තැනැත්තාට යුක්තිය ඉටු කෙළේ ය. |
|
| 25 |
|
| දෙවියන් වහන්සේ ඔහු අතින් ඔහුගේ නෑදෑ පිරිසට විමුක්තිය සලසා දෙන බව ඔවුන් තේරුම්ගෙන ඇතැ යි ඔහු සිතී ය. එහෙත් ඔව්හු එය තේරුම් නොගත්හ. |
|
| 26 |
|
| පසුවදා ඉශ්රායෙල්වරුන් දෙදෙනෙකු දබර කරනු දැක, ඔවුන් සමඟි කිරීමේ අදහසින් ඉදිරිපත් වී, ‘මිත්‍රවරුනි, ඔබ සහෝදරයෝ ය; එකිනෙකාට අයුතුකම් කරන්නේ මන්දැ’යි ඇසී ය. |
|
| 27 |
|
| එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද? |
|
| 28 |
|
| ඔබ ඊයේ මිසරයා මැරූ ලෙස, මාත් මරන්නට හදනවා දැ’යි කී ය. |
|
| 29 |
|
| ඒ කීම නිසා මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයෙහි ආගන්තුක ව විසී ය. එහි දී ඔහුට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්හ. |
|
| 30 |
|
| “සතළිස් අවුරුද්දක් ගත වූ පසු, සීනයි කඳු පාළුකරයේ පඳුරක ගිනි ජාලාවක් තුළ දේව දූතයෙක් ඔහුට දර්ශනය විය. |
|
| 31 |
|
| මෝසෙස් ඒ දර්ශනය දැක, පුදුම වී, එය සොයා බලන පිණිස ළඟට ගිය කල, |
|
| 32 |
|
| ‘ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ මම වෙමි’යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ ඇසුණේ ය. මෝසෙස් වෙව්ලන්නට වී, වැඩිදුර පරීක්ෂා කරන්නට බිය විය. |
|
| 33 |
|
| සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, ‘නුඹේ පාවහන් ගලවනු; මන්ද, නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි. |
|
| 34 |
|
| මිසරයෙහි වසන මාගේ ජනතාව විඳින පීඩා සැබැවින් ම දිටිමි; ඔවුන්ගේ සුසුම්ලෑම ඇසීමි; ඔවුන් ගළවන පිණිස බැස ආවෙමි; එනු, මම දැන් නුඹ මිසරයට යවමි’යි වදාළ සේක. |
|
| 35 |
|
| “අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය. |
|
| 36 |
|
| මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය. |
|
| 37 |
|
| ‘දෙවියන් වහන්සේ මා එවූ ලෙස ම ඔබගේ සහෝදරයන් අතරෙන් ඔබට දිවැසිවරයෙකු එවන සේකැ’යි ඉශ්රායෙල් පුත්‍රයන්ට කීවේත්, මේ මෝසෙස් ම ය. |
|
| 38 |
|
| සීනයි කන්දේ දී තමාට කතා කළ දේව දූතයා සමඟ ද අපේ පියවරුන් සමඟ ද පාළුකරයෙහි වූ සභාවේ ද සිටියේත්, අපට ප්රදානය කරන පිණිස ජීවන දහම ලැබුවේත් මොහු ම ය. |
|
| 39 |
|
| “එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්, |
|
| 40 |
|
| ආරොන්ට කතා කරමින්, ‘අපට පෙරටුව යන පිණිස දෙවිවරුන් සෑදුව මැනව, මන්ද, මිසර දේශයෙන් අප ගෙන ආ ඒ මෝසෙස්ට කුමක් වී ද කියා නොදනිමු’යි කී හ. |
|
| 41 |
|
| ඔව්හු ඒ දවස්වල දී වස්සෙකු සාදා, ඒ රූපයට පූජාවක් ඔප්පු කර, තමන් අතින් සෑදූ දේ ගැන ප්‍රීති වූ හ. |
|
| 42 |
|
| එවිට දෙවියන් වහන්සේ ඔවුන් වෙතින් හැරී, ග්‍රහ දේවතා නමස්කාරයට ඔවුන් අත්හැරදැමූ සේක. දිවැසිවරයන්ගේ පොතේ ඒ ගැන, ‘ඉශ්රායෙල් වංශය, කාන්තාරයෙහි සතළිස් වසක් තුළ ඔබ මට බිලි හා පූජා ඔප්පු කළහු ද? |
|
| 43 |
|
| නැත, නමස්කාර කරන පිණිස ඔබ විසින් සාදන ලද රූප, එනම්, මොලෙක්ගේ දේවාලය ද රෙපාන් දෙවියාගේ තාරකාව ද ඔබ ඔසවාගෙන ගියහු ය. එබැවින් ඔබ බබිලෝනියෙන් එපිටට නෙරපන්නෙමි’ යනුවෙන් ලියා තිබේ. |
|
| 44 |
|
| “අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය. |
|
| 45 |
|
| අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ. |
|
| 46 |
|
| දාවිත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසාදය ලබා, ජාකොබ්ගේ දෙවියන් වහන්සේට වාසස්ථානයක් සැපයීමට අවසර ඉල්ලී ය. |
|
| 47 |
|
| එහෙත් උන් වහන්සේට මන්දිරයක් තැනුවේ සලමොන් ය. |
|
| 48 |
|
| “එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත: |
|
| 49 |
|
| ‘අහස මාගේ සිහසුන ය, පොළොව මාගේ පාපුටුව ය, කෙබඳු ගෘහයක් ඔබ මට ඉදි කරන්නහු ද? නොහොත්, මාගේ විවේක ස්ථානය කිමෙක් ද? |
|
| 50 |
|
| මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. |
|
| 51 |
|
| “හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය. |
|
| 52 |
|
| ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත. |
|
| 53 |
|
| දේව දූතයන් විසින් දෙන ලද ව්‍යවස්ථා ඔබ ලැබූ නමුත් ඒවා නොපිළිපැද්දහු ය.” |
|
| 54 |
|
| ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. |
|
| 55 |
|
| එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක, |
|
| 56 |
|
| “අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය. |
|
| 57 |
|
| එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන, |
|
| 58 |
|
| ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ. |
|
| 59 |
|
| “ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ. |
|
| 60 |
|
| ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය. |
|
|
|
|