|
| 1 |
|
| ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය. ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට අපෝස්තුළුවරු හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ. |
|
| 2 |
|
| සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ. |
|
| 3 |
|
| එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය. |
|
| 4 |
|
| විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. |
|
| 5 |
|
| පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය. |
|
| 6 |
|
| පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ. |
|
| 7 |
|
| අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ. |
|
| 8 |
|
| ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය. |
|
| 9 |
|
| එකල ඒ නුවර ඊට කලින් අනවින කරමින් සිටි, තමා මහා උත්තමයෙකැ යි පුරසාරම් දෙඩූ, සමාරීය ජනතාව මවිත කළ, සීමොන් නම් එක්තරා මිනිසෙක් සිටියේ ය. |
|
| 10 |
|
| පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ. |
|
| 11 |
|
| ඔවුන් ඔහුට එසේ සවන් දුන්නේ ඔහුගේ අනවිනවලින් කාලයක් තිස්සේ ඔහු ඔවුන් මවිත කළ නිසා ය. |
|
| 12 |
|
| එහෙත් පිලිප් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය ද ගැන සුබ අස්න දේශනා කළ විට, ඔව්හු ඔහු විශ්වාස කළහ. ස්ත්‍රීහු ද පුරුෂයෝ ද බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. |
|
| 13 |
|
| එපමණක් නොව සීමොන් ද විශ්වාස කොට, බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, පිලිප් සමඟ නිරතුරු සිටිමින්, ඔහු කළ අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද දැක මවිත විය. |
|
| 14 |
|
| සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි අපෝස්තුළුවරුන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ. |
|
| 15 |
|
| ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ. |
|
| 16 |
|
| මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත. |
|
| 17 |
|
| අපෝස්තුළුවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි. |
|
| 18 |
|
| අපෝස්තුළුවරුන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දුටු සීමොන් ඔවුන්ට මුදල් දෙමින්, |
|
| 19 |
|
| “යමෙකු පිට මම අත් තබම් ද, ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැ”යි කී ය. |
|
| 20 |
|
| එහෙත් පේදුරු ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේගේ දීමනාව මුදලට ගත හැකි යයි ඔබ සිතූ බැවින්, ඔබේ මුදලත්, ඔබත් නැතිභංග වේ වා. |
|
| 21 |
|
| මේ කාරණයෙහි කොටසක් වත් පංගුකාරකමක් වත් ඔබට නැත. මන්ද, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත අවංක නැත. |
|
| 22 |
|
| එහෙයින් ඔබේ සිතේ අදහස ගැන ඔබට කමා කරනු ලබන්නේ දැ යි බලනු පිණිස ඒ දුෂ්ටකම ගැන පසුතැවී සිත හරවා ගෙන, සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. |
|
| 23 |
|
| මන්ද, ඔබ තික්තකමේ ගැඹුරට කිමිදී පාප බැමිවලින් වෙළී සිටින බව මට පෙනේ ය”යි කී ය. |
|
| 24 |
|
| සීමොන් පිළිතුරු දෙමින්, “ඔබ කී දෙයින් කිසිවක් මට සිදුනොවන පිණිස, මා උදෙසා සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි කී ය. |
|
| 25 |
|
| ඔවුන් සාක්ෂි දරා සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දේශනා කළ ඉක්බිති ජෙරුසලමට පෙරළා එන අතර සමාරීයයන්ගේ බොහෝ ගම්වල දේව වචනය දේශනා කළෝ ය. |
|
| 26 |
|
| එකල සමිඳාණන් වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැඟිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට බසින පාරට යන්නැ”යි කී ය. එය කාන්තාර පාරකි. |
|
| 27 |
|
| ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස් |
|
| 28 |
|
| ආපසු යන විට, තමාගේ රථයෙහි හිඳ, දිවැසිවර යෙසායාගේ පොත කියවමින් සිටියේ ය. |
|
| 29 |
|
| එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, “ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක. |
|
| 30 |
|
| පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, “ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය. |
|
| 31 |
|
| “යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය. |
|
| 32 |
|
| ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේ ය: “මරණයට ගෙනයනු ලබන බැටළුවෙකු මෙන් ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොළු ව සිටින බැටළු පැටවෙකු මෙන් ද උන් වහන්සේ තමන් මුඛය නාරින සේක. |
|
| 33 |
|
| උන් වහන්සේ නින්දා ලැබූ හ; යුක්තිය නොලැබූ හ. උන් වහන්සේගේ පෙළපත ගැන ප්‍රකාශ කරන්නේ කවරෙක් ද? මන්ද, උන් වහන්සේගේ ජීවිතය මිහි පිටින් පහකරදමන ලදී.” |
|
| 34 |
|
| නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්, “දිවැසිවරයා මෙය කියන්නේ කවරෙකු ගැන ද? තමා ම ගැන ද නැතහොත් අන් කෙනෙකු ගැන දැ යි මට කියන්නැ”යි කී ය. |
|
| 35 |
|
| එවිට පිලිප් පිළිතුරු දෙමින්, එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේ ය. |
|
| 36 |
|
| ඔව්හු මාර්ගයේ යද්දී, ජලය ඇති තැනකට පැමුණුණාහ. නපුංසකයා “මෙන්න, ජලය ඇත; බව්තීස්ම-ස්නාපනය ලැබීමට ඇති බාධාව කුමක් දැ”යි කී ය. |
|
| 37 |
|
| පිලිප් කතා කොට, ‘ඔබේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ කළ හැකි ය’යි පැවසී ය. ඔහු උත්තර දෙමින්, “ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි”යි කී ය. |
|
| 38 |
|
| රථය නවත්වන්නට අණ කළ පසු පිලිප් ද නපුංසකයා ද දෙදෙනා ම වතුරට බැස්සෝ ය. පිලිප් ඔහු බව්තීස්ම-ස්නාපනය කෙළේ ය. |
|
| 39 |
|
| ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය. |
|
| 40 |
|
| ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය. |
|
|
|
|