|
| 1 |
|
| අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත. |
|
| 2 |
|
| තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන් වහන්සේ ය. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. |
|
| 3 |
|
| එපමණක් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ල ද, |
|
| 4 |
|
| ඉවසිල්ලෙන් තැන්පත් බව ද, තැන්පත් බවෙන් බලාපොරොත්තුව ද උපදින බව දැන, අප විඳින පීඩාවල දී වුව ද, අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. |
|
| 5 |
|
| එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක. |
|
| 6 |
|
| අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. |
|
| 7 |
|
| සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. |
|
| 8 |
|
| අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්රත්යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. |
|
| 9 |
|
| ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය. |
|
| 10 |
|
| අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු. |
|
| 11 |
|
| එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. |
|
| 12 |
|
| එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී. |
|
| 13 |
|
| කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ. |
|
| 14 |
|
| එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. |
|
| 15 |
|
| එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි. |
|
| 16 |
|
| දෙවියන් වහන්සේගේ දීමනාව හා එක පුද්ගලයෙකුගේ පාපී ක්‍රියාව අතර සමානත්වයක් නැත. මන්ද, එක පාපී ක්‍රියාවක් නිසා ඇති වන දේව විනිශ්චය, දඬුවමට හේතු විය; එහෙත් බොහෝ පාපී ක්‍රියා සම්බන්ධයෙන් ඇති වූ උන් වහන්සේගේ දයාන්විත දීමනාව, වරදින් නිදහස් කිරීමේ තීන්දුව දෙයි. |
|
| 17 |
|
| එක මනුෂ්‍යයෙකුගේ පාපය නිසා එක ම තැනැත්තෙකු මඟින් මරණය සියල්ලන් කෙරෙහි රජකම් කෙළේ නම්, කොතරම් අධිකතර ලෙස දේව වරප්‍රසාදය හා දමිටු බවට පැමිණවීමේ දීමනාව ලබන හැම දෙන ම එක ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ජීවනයේ රජකම අත් කර නොගනිද් ද? |
|
| 18 |
|
| මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත. |
|
| 19 |
|
| එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය. |
|
| 20 |
|
| ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය. |
|
| 21 |
|
| මෙසේ මරණය සලසමින් පාපය රජකම් කළාක් මෙන් දමිටු බව සලසමින් දේව වරප්‍රසාදය රජකම් කෙළේ ය. ඒ දමිටු බව අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන සදාතන ජීවනයට අප ගෙන යයි. |
|
|
|
|