|
| 1 |
|
| සහෝදරවරුනි, නීතිය මිනිසෙකු කෙරේ බලපාන්නේ ඔහු ජීවත් ව සිටින තුරු පමණක් බව ඔබ නොදන්නහු ද? (මා කතා කරන්නේ නීතිය දන්නා ඇත්තන්ට ය.) |
|
| 2 |
|
| විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය. |
|
| 3 |
|
| ස්වාමි පුරුෂයා ජීවත් ව සිටිය දී ඈ පරපුරුෂ සේවනයෙහි යෙදුණොත් ඇයට කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නී ය යි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඈ විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඈ වෙන කෙනෙකු සමඟ විවාහ වුවත් කාමමිථ්‍යාචාරය නොකරන්නී ය. |
|
| 4 |
|
| මාගේ සහෝදරවරුනි, ඔබ ද එලෙස ම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වීමෙන් ව්‍යවස්ථාවෙන් නිදහස ලබා ඇත. ඒ හේතුවෙන් දෙවියන් වහන්සේට වැඩදායක වන පිණිස, ඔබ වෙන කෙනෙකුට, එනම් උත්ථානය ලැබූ තැනැන් වහන්සේට බැඳී සිටින්නහු ය. |
|
| 5 |
|
| ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි. |
|
| 6 |
|
| එහෙත් දැන්, වරක් අප තරයේ බැඳ තැබූ බැම්මෙන් මිදීම ලබා, අපි නීතියෙන් නිදහස් ව සිටිමු. එබැවින් අපි දැන් පැරණි ලිඛිත නීතිය යටතේ නොව, ආත්මයාණන්ගේ නව ජීවනය තුළ සේවය කරමු. |
|
| 7 |
|
| එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත. |
|
| 8 |
|
| එහෙත් පාපය, ආඥාව මඟින් පාප ක්‍රියාවට ඉඩප්රස්ථාවක් සාදාගෙන විවිධාකාර තණ්හා මා තුළ නිපදවී ය. ව්‍යවස්ථාව නොවී නම්, පාපය ක්‍රියා විරහිත මළ දෙයකි. |
|
| 9 |
|
| නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය. |
|
| 10 |
|
| මම ද මැරුණෙමි. ජීවිතය සඳහා පැන වූ ආඥාව ම මා මරණයට පැමිණ වී ය. |
|
| 11 |
|
| මන්ද, පාපය, ආඥාව මඟින් ක්‍රියාවට ඉඩප්රස්ථාවක් සලසාගෙන, මා රවටා, ආඥාව උපයෝගී කොටගෙන, මා මැරී ය. |
|
| 12 |
|
| එසේ වුව ද ව්‍යවස්ථාව ශුද්ධ ය, ආඥාව ද ශුද්ධ ය, සාධාරණ ය, යහපත් ය. |
|
| 13 |
|
| එසේ නම් යහපත පිණිස පැන වූ ව්‍යවස්ථාව ම මට මරණය පැමිණ වී ද? කොහෙත් ම නැත; මා මරණයට පත් කෙළේ පාපය ය. මෙයින් පාපයේ පාපී ගතිය හෙළි විය. එය, යහපත් දෙයක් උපයෝගී කොටගෙන මා මරණයට පත් කෙළේ ය. මෙසේ ආඥාව මඟින් පාපය වඩාත් පාපිෂ්ඨ විය. |
|
| 14 |
|
| නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි. |
|
| 15 |
|
| මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය. |
|
| 16 |
|
| මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. |
|
| 17 |
|
| සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. |
|
| 18 |
|
| මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත. |
|
| 19 |
|
| මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. |
|
| 20 |
|
| ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය. |
|
| 21 |
|
| එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ. |
|
| 22 |
|
| මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි. |
|
| 23 |
|
| එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්රියයන් තුළ ඇති බව මට පෙනේ. |
|
| 24 |
|
| අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද? |
|
| 25 |
|
| අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය. |
|
|
|
|