|
| 1 |
|
| දෙවියන් වහන්සේගේ සෙනඟ උදෙසා කරන සම්මාදම ගැන ගලාතියේ සභාවලට මා නියම කළ දෙය ම ඔබත් කරන්න. |
|
| 2 |
|
| සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත. |
|
| 3 |
|
| මා පැමිණි විට ඔබ දෙන පඬුර ජෙරුසලමට ගෙන යන පිණිස සුදුස්සන් යයි ඔබ අනුමත කරන තැනැත්තන් මගේ ලියුම් ඇතිව, එහි යවන්නෙමි. |
|
| 4 |
|
| ඒ ගමන යෑම සුදුසු යයි මටත් පෙනේ නම් ඔවුන් ද මා සමඟ යනු ඇත. |
|
| 5 |
|
| මසිදෝනිය මැදින් යන්නට මා අදහස් කරන බැවින්, එසේ ගිය පසු, මම ඔබ වෙත එන්නෙමි. |
|
| 6 |
|
| සමහරවිට ටික කලක්, නැත්නම් මුළු ශීත කාලය වුව ද, ඔබ සමඟ නවතින්නෙමි. එවිට මා කොහේ ගියත් මගේ ගමනට ඔබට ආධාර දිය හැකි ය. |
|
| 7 |
|
| සමිඳාණන් වහන්සේ අවසර දෙන සේක් නම් ඔබ සමඟ නතර වීමට බලාපොරොත්තු වෙන බැවින් දැන් යන ගමනේ දී ටිකකට ගොඩවැදී යන්න මා කැමැති නැත. |
|
| 8 |
|
| එහෙත් පෙන්තකොස්ත දිනය වන තුරු මම එපීසයෙහි නවතින්නෙමි. |
|
| 9 |
|
| ඉමහත් බලාපොරොත්තු සහිත දොරක් එහි විවෘත වී ඇත. එහෙත්, විරුද්ධවාදීහු බොහෝ දෙනෙක් ද සිටිති. |
|
| 10 |
|
| තිමෝතියස් පැමිණියහොත් ඔහුට කිසි බියක් නැති ව ඔබ අතර නැවතී සිටීමට ඉඩ සලසන්න. මන්ද, ඔහු මා වාගේ ම සමිඳාණන් වහන්සේගේ සේවකයෙකි. |
|
| 11 |
|
| එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි. |
|
| 12 |
|
| අපොල්ලොස් ගැන කිව යුත්තේ සහෝදරයන් සමඟ ඔබ වෙත එන ලෙස ඔහුගෙන් මා උදක් ම ඉල්ලා සිටිය බවයි. එහෙත් දැන් ම ඒ ගමන යාම කිසිසේත් ඔහුගේ කැමැත්ත නො වී ය. අවස්ථාවක් පැමිණි විට ඔහු එනු ඇත. |
|
| 13 |
|
| සෝදිසියෙන් ඉන්න, ඇදහිල්ලෙහි ස්ථිර වන්න. වීරවන්ත ව සිටින්න. ශක්තිසම්පන්න වන්න. |
|
| 14 |
|
| ඔබ කරන හැම දෙයක් ම ප්‍රේමයෙන් කරන්න. |
|
| 15 |
|
| සහෝදරවරුනි, මම ඔබගෙන් ඉල්ලීමක් කරමි. ස්තේපනස්ගේ ගෘහවාසීන් ග්‍රීසියේ දී මුලින් ම හැරුණු අය බව ද ඔවුන් කිතුනු සේවයට සිය කැමැත්තෙන් කැප වූ බව ද ඔබ දන්නහු ය. |
|
| 16 |
|
| ඔවුන්ගේ ද ඔවුන් සමඟ සේවයට හවුල් වෙමින් දිරි දරන සියල්ලන්ගේ ද මූලිකත්වයෙන් කෙරෙන සේවයට ඔබ ද බැඳෙන්න. |
|
| 17 |
|
| ස්තේපනස්ගේ ද පොර්තුනාතුස්ගේ ද අකයිකස්ගේ ද පැමිණීම ගැන ප්‍රීතිවෙමි. ඔබ නැති පාඩුව ඔවුන්ගේ පැමිණීමෙන් පිරිමැසුණි. |
|
| 18 |
|
| එයින් මාගේ ද එසේ ම ඔබගේ ද සිතට සහනයක් ලැබිණි. මෙවැනි අය අගය කොට සලකන්න. |
|
| 19 |
|
| ආසියාවේ සභාවෝ ඔබට ආචාර කරති. අකිලා ද ප්‍රිස්කා ද, ඔවුන්ගේ නිවසේ රැස් වන සභාවත් සමඟ සමිඳාණන් වහන්සේ තුළ හිතවත් ලෙස ආචාර කරති. |
|
| 20 |
|
| සියලු සහෝදරයෝ ඔබට ආචාර කරති. සාම සිඹීමකින් එකිනෙකාට ඔබත් ආචාරය කරන්න. |
|
| 21 |
|
| පාවුලු වන මම මාගේ ම අත් අකුරින් ලියා ඔබට ආචාර කරමි. |
|
| 22 |
|
| යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව. |
|
| 23 |
|
| ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන් වහන්සේගේ කරුණාව ඔබ සමඟ වේ වා! |
|
| 24 |
|
| මාගේ ප්‍රේමය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබ සියල්ලන් සමඟ වේ වා! ආමෙන්. |
|
|
|
|