|
| 1 |
|
| සහෝදරයෙනි, ශුද්ධාත්ම වරම ලත් අයට මෙන් ඔබට කතාකිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට, ළා බාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙළෙමි. |
|
| 2 |
|
| මම ඔබ දැඩි ආහාරයෙන් නොව කිරෙන් පෝෂණය කෙළෙමි. එසේ කෙළේ ඔබට ඒවා දැරීමට නොහැකි වූ බැවිනි. ඒවා දැරීම තවමත් ඔබට බැරි ය. |
|
| 3 |
|
| තවමත් ඔබ පෘථග්ජන තත්ත්වයේ ය. ඔබ අතර ඊර්ෂ්‍යාව හා විවාදය හා පවතින විට, ඔබ පෘථග්ජන අය මෙන් ලෞකික තත්ත්වයේ හැසිරෙනවා නොවේ ද? |
|
| 4 |
|
| කෙනෙක් මම පාවුලුගේ පැත්තට යයි ද තව කෙනෙක්, මම අපොල්ලොස්ගේ පැත්තට යයි ද කියන විට ඔබ සාමාන්‍ය මිනිස්සු නොවෙත් ද? |
|
| 5 |
|
| අපොල්ලොස් කවරෙක් ද? පාවුලු කවරෙක් ද? ඔව්හු සමිඳාණන් වහන්සේ ඒ අයට දුන් ප්‍රකාර ඔබ ඇදහිල්ලට පැමිණවූ සේවකයෝ ය. |
|
| 6 |
|
| මම පැළ කෙළෙමි, අපොල්ලොස් වතුර දැම්මේ ය. එහෙත් එහි වැඩීම සැලසූයේ දෙවියන් වහන්සේ ය. |
|
| 7 |
|
| වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය. |
|
| 8 |
|
| පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය. |
|
| 9 |
|
| මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය. |
|
| 10 |
|
| මට දෙන ලද දේව වරප්‍රසාදය පරිදි මම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු මෙන් අත්තිවාරමක් දැමීමි. වෙන කෙනෙක් ඒ මත ගොඩනඟයි. එහෙත් එකිනෙකා එය මත ගොඩනඟන ආකාරය ගැන විමසිලිමත් විය යුතු ය. |
|
| 11 |
|
| මන්ද, දැනට ම දමා ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය. |
|
| 12 |
|
| මේ අත්තිවාරම මත ගොඩනැඟීමට යම් යම් අය යොදන්නේ රන්, රිදී, අගනා මැණික්, දැව, තෘණ හෝ පිදුරු නම්, |
|
| 13 |
|
| ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය, හෙළිදරව් වන්නේ ය. ඒ දවස ගින්න සහිත ව උදා වේ. ඒ ගින්නෙන් ඒ ඒ කර්මාන්ත පරීක්ෂා කරනු ලැබීමෙන් ඒවායේ නියම ස්වාභාවය හෙළි වේ. |
|
| 14 |
|
| ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි. |
|
| 15 |
|
| යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත. |
|
| 16 |
|
| ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද? |
|
| 17 |
|
| කිසිවෙකු දේව මන්දිරය වැනසුවොත් දෙවියන් වහන්සේ ඒ තැනැත්තා වනසන සේක. දෙවියන් වහන්සේගේ මන්දිරය විශුද්ධ ය. ඒ මන්දිරය නම් ඔබ ය. |
|
| 18 |
|
| කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා. |
|
| 19 |
|
| මන්ද, මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන් වහන්සේ: “ප්‍රඥාවන්තයන් ඔවුන්ගේ ම උපායවලින් අසු කරගන්නා සේකැ”යි ලියා ඇත. |
|
| 20 |
|
| තවද, “සමිඳාණන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිස්සාර බව දන්නා සේකැ”යි කියා ද ලියා ඇත. |
|
| 21 |
|
| එහෙයින් කිසිවෙක් යම් යම් පුද්ගලයන් ගැන පාරට්ටු කර නොගනිත් වා. මන්ද, සියල්ලෝ ම ඔබගේ ය. |
|
| 22 |
|
| පාවුලු, අපොල්ලොස්, කේපස් යන සියල්ලන් ද, ලෝකය, ජීවනය, මරණය, වර්තමානය, අනාගතය යන සියල්ල ද ඔබගේ ය. |
|
| 23 |
|
| ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ය. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ය. |
|
|
|
|