|
| 1 |
|
| මෙසේ අපි, අප ගැන ම රෙකමදාරුවක් කරන්නට පටන් ගනිමු ද? නැත්නම් සමහරුන්ට වුවමනා වන සේ අපටත් ඔබට දීමට හෝ ඔබෙන් ලබාගැනීමට හෝ රෙකමදාරු ලිපි වුවමනා ද? |
|
| 2 |
|
| නැත. අපට ඇති රෙකමදාරු ලිපිය නම් ඔබ ම ය; එය අපේ සිත්වල ලියා ඇත. සියල්ලන්ට ම එය කියවා දැනගත හැකි ය. |
|
| 3 |
|
| ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය. |
|
| 4 |
|
| ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත. |
|
| 5 |
|
| එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය. |
|
| 6 |
|
| අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති. |
|
| 7 |
|
| අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය. |
|
| 8 |
|
| එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද? |
|
| 9 |
|
| අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද? |
|
| 10 |
|
| කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ. |
|
| 11 |
|
| පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? |
|
| 12 |
|
| මෙවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අපි නිර්භීත ව කතා කරමු. |
|
| 13 |
|
| පහ ව යන තේජස ඉශ්රායෙල් සෙනඟ නොදකින පිණිස මුහුණු වැස්මක් දමාගත් මෝසෙස්ට අපි සමාන නොවෙමු. |
|
| 14 |
|
| එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය. |
|
| 15 |
|
| සැබැවින් ම, අද දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන විට, ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත. |
|
| 16 |
|
| එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ. |
|
| 17 |
|
| ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත. |
|
| 18 |
|
| අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත. |
|
|
|
|