|
| 1 |
|
| කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු. |
|
| 2 |
|
| මෙහි දී අපි ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබාගැනීමේ දැඩි ආශාවෙන් සුසුම්ලමු. |
|
| 3 |
|
| මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු. |
|
| 4 |
|
| කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය. |
|
| 5 |
|
| මෙය සඳහා අප සූදානම් කළේ දෙවියන් වහන්සේ ම ය. එහි අත්තිකාරම වශයෙන් උන් වහන්සේ අපට ශුද්ධාත්මයාණන් ප්රදානය කළ සේක. |
|
| 6 |
|
| එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු. |
|
| 7 |
|
| අප ජීවත් වනුයේ දැකීමෙන් නොව, ඇදහීමෙන් ය. |
|
| 8 |
|
| අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු. |
|
| 9 |
|
| ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු. |
|
| 10 |
|
| මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු. |
|
| 11 |
|
| සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි. |
|
| 12 |
|
| අප උත්සාහ කරන්නේ යළිත් අප ම ඔබට රෙකමදාරු කරගැනීමට නොව අප ගැන පාරට්ටු කිරීමට ඉඩ ප්‍රස්ථාවක් ඔබට සලසා දීමට ය. එවිට චරිතය අනුව නොව පෙනුම අනුව පාරට්ටු කරගන්නන්ට පිළිතුරු දීමට ඔබට හැකි වනු ඇත. |
|
| 13 |
|
| අපි සිහිවිකල වී සිටිමු නම්, එය දෙවියන් වහන්සේ උදෙසා ය. අපි සිහි බුද්ධියෙන් සිටිමු නම්, එය ඔබ උදෙසා ය. |
|
| 14 |
|
| සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි. |
|
| 15 |
|
| උන් වහන්සේ දිවි පිදුවේ ජීවත් වන්නන් තවත් තමන් ම උදෙසා ජීවත් නොවී, ඔවුන් උදෙසා මැරී, උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස ය. |
|
| 16 |
|
| මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු. |
|
| 17 |
|
| එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ. |
|
| 18 |
|
| සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක. |
|
| 19 |
|
| එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය. |
|
| 20 |
|
| දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. |
|
| 21 |
|
| දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය. |
|
|
|
|