|
| 1 |
|
| මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි. |
|
| 2 |
|
| ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. |
|
| 3 |
|
| මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. |
|
| 4 |
|
| මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. |
|
| 5 |
|
| ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ අපෝස්තුළුවරුනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. |
|
| 6 |
|
| ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය. |
|
| 7 |
|
| දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි. |
|
| 8 |
|
| සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්, |
|
| 9 |
|
| මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි. |
|
| 10 |
|
| එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය. |
|
| 11 |
|
| දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය. |
|
| 12 |
|
| ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත. |
|
| 13 |
|
| එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය. |
|
| 14 |
|
| මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, |
|
| 15 |
|
| පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි. |
|
| 16 |
|
| උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද, |
|
| 17 |
|
| ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි. |
|
| 18 |
|
| සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා, |
|
| 19 |
|
| ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි. |
|
| 20 |
|
| අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති |
|
| 21 |
|
| දෙවියන් වහන්සේට සභාව තුළ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ද යුගයෙන් යුගයට, සදහට ම මහිමය වේ වා! ආමෙන්. |
|
|
|
|