|
| 1 |
|
| අවසන් වශයෙන් සහෝදරයිනි, දෙවියන්වහන්සේට ප්‍රසන්න අයුරින් ජීවත් විය යුත්තේ කෙසේදැයි අපි ඔබට උපදෙස් දුනිමු; සැබවින් ම ඔබ ජීවත් වන්නේ එලෙස ය. යේසුස් ස්වාමින්වහන්සේ තුළ අප දැන් ඔබෙන් ඉල්ලා සිටින්නේ, උදක්ම කියා සිටින්නේ වඩ වඩාත් එසේ කරන ලෙසයි. |
|
| 2 |
|
| යේසුස් ස්වාමින්වහන්සේගේ ආධිපත්‍යය යටතේ අප ඔබට දුන් ආඥා කවරේ ද කියා ඔබ දන්නහු ය. |
|
| 3 |
|
| දෙවියන්වහන්සේගේ කැමැත්ත ඔබ ශුද්ධව සිටීමයි; ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමයි. |
|
| 4 |
|
| ඔබ හැම කෙනකුම ශුද්ධවූත්, ගෞරවණීයවූත් අයුරින් තමාගේ සිරුර පාලනය කර ගැන්මට උගත යුත්තේ, |
|
| 5 |
|
| දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි. |
|
| 6 |
|
| මේ සම්බන්ධව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක. |
|
| 7 |
|
| මන්ද දෙවියන්වහන්සේ අප කැඳවා ඇත්තේ අපවිත්‍රකමට නො ව ශුද්ධකමට ය. |
|
| 8 |
|
| එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය. |
|
| 9 |
|
| සහෝදර ප්‍රේමය ගැන නම් ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කිරීමට ඔබම දෙවියන්වහන්සේගෙන් උගෙන ඇති බැවිනි. |
|
| 10 |
|
| සැබවින් ම ඔබ මකිදෝනියෙහි සමස්ත සහෝදරයිනට ප්‍රේම කරනවා වුව ද, වඩ වඩාත් එසේ කරන ලෙස අපි උදක්ම ඉල්ලන්නෙමු. |
|
| 11 |
|
| අප ඔබට පැවසූ පරිදි නිසංසල ජීවිතයක් ගත කිරීමත්, තමන්ගේ වැඩ බලාගැනීමත්, ඔබේම දෑත වෙහෙසා වැඩ කිරීමත් ඔබේ අභිලාෂය කරගන්න. |
|
| 12 |
|
| එසේ වූ කල, ඔබගේ ජීවන රටාව, පිටස්තර අයගේ ගරුත්වය දිනාගනු ඇත. ඔබ අනුන්ගේ පිහිටෙන් යැපෙන්නකු ද නො වනු ඇත. |
|
| 13 |
|
| සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය. |
|
| 14 |
|
| යේසුස්වහන්සේ මැරුණු බවත්, යළි නැගුටුණු බවත් අප විශ්වාස කරන ලෙසම උන්වහන්සේ තුළ සැතපුණු අය දෙවියන්වහන්සේ, යේසුස්වහන්සේ සමඟ ගෙන එනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. |
|
| 15 |
|
| ස්වාමින්වහන්සේගේම වචනවලට අනුව අප ඔබට කියන්නේ, ස්වාමින්වහන්සේගේ පැමිණීම තෙක් ඉතිරිව ජීවත්ව සිටින අප, සැතපුණු අයට වඩා කිසි සේත් ඉස්සර නො වන බවයි. |
|
| 16 |
|
| මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති. |
|
| 17 |
|
| එවිට, තවමත් ඉතිරිව ජීවත්ව සිටින අපි අහසේදී ස්වාමින්වහන්සේ මුණ ගැසෙනු පිණිස ඔවුන් වෙත වලාකුළු තුළට ඔසොවාගනු ලබන්නෙමු. මෙසේ අපි සදහට ම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමු. |
|
| 18 |
|
| එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න. |
|
|
|
|