|
| 1 |
|
| සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය. |
|
| 2 |
|
| සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. |
|
| 3 |
|
| කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ. |
|
| 4 |
|
| ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය. |
|
| 5 |
|
| මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? |
|
| 6 |
|
| ඒ නොපනත්කමේ මනුෂ්‍යයා නියම කාලයේ දී ප්‍රකාශ වන පිණිස, දැනට ඔහු වළක්වාලන්නේ කිමෙක් දැ යි ඔබ දන්නහු ය. |
|
| 7 |
|
| නොපනත්කමේ අබිරහස දැනුදු එසේ ම ක්‍රියා කරයි. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු, රහසිගත කිසිවක් නොපවතී. |
|
| 8 |
|
| එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක. |
|
| 9 |
|
| නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය. |
|
| 10 |
|
| විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය. |
|
| 11 |
|
| ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක. |
|
| 12 |
|
| මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති. |
|
| 13 |
|
| සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය. |
|
| 14 |
|
| එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය. |
|
| 15 |
|
| එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න. |
|
| 16 |
|
| අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද |
|
| 17 |
|
| ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා! |
|
|
|
|