|
| 1 |
|
| මේ හසුන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතුකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස් වෙතට ය. |
|
| 2 |
|
| දෙවි පියාණන් වහන්සේගෙන් ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් ද වරප්‍රසාදයත්, දයාවත්, ශාන්තියත් ඔබට වේ වා! |
|
| 3 |
|
| මම දිවා රෑ දෙක්හි ම නිතර මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින්, මාගේ මුතුන්මිත්තන් කළාක් මෙන් පිරිසිදු හෘදය සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි. |
|
| 4 |
|
| ඔබේ කඳුළු සිහි කර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරගැනීම පිණිස මම ඔබ දකින්නට ආශාවෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි. |
|
| 5 |
|
| ඒ ඇදහිල්ල ප්‍රථමයෙන් ඔබේ ආච්චි වූ ලොයිස් කෙරෙහි ද, ඔබේ අම්මා වූ යූනිස් කෙරෙහි ද පිහිටියේ ය. ඔබ තුළත් එය ඇති බව මම විශ්වාස කරමි. |
|
| 6 |
|
| ඒ නිසා මාගේ හස්තාලේපනය හේතුකොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක් සේ දල්වාගන්නා ලෙස ඔබට සිහි කරවමි. |
|
| 7 |
|
| දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය. |
|
| 8 |
|
| එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න. |
|
| 9 |
|
| උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි. |
|
| 10 |
|
| එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක. |
|
| 11 |
|
| ඒ සුබ අස්න පිළිබඳ දේශනාකරුවෙකු ද ප්‍රේරිතයෙකු ද, ගුරුවරයෙකු ද ලෙස මම පත් කරනු ලැබුවෙමි. |
|
| 12 |
|
| මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි. |
|
| 13 |
|
| ඔබ මාගෙන් ලබාගත් සාරගර්භ ධර්මයේ ආදර්ශය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතු ව සිතෙහි නිදන් කරගන්න. |
|
| 14 |
|
| අපට භාර දුන් මේ අගනා දෙය අප තුළ වාසය කරන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් ආරක්ෂා කරන්න. |
|
| 15 |
|
| පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය. |
|
| 16 |
|
| ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව, |
|
| 17 |
|
| ඔහු රෝමයට ආ කෙණෙහි ම, මා හමු වන තෙක් ම බොහෝ වෑයමෙන් මා සෙවී ය. |
|
| 18 |
|
| ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය. |
|
|
|
|