|
| 1 |
|
| මා සහෝදරයිනි, තේජසේ ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ අදහන්නන් වශයෙන් උස් පහත්කම් නො සලකන්න. |
|
| 2 |
|
| රන් මුදු පැලඳි, වටිනා ඇඳුම් හැඳි ධනවතෙක් ද වැරහැලි හැඳි දුගියෙක් ද ඔබේ එක්රැස්වීමකට පැමිණි විටෙක, |
|
| 3 |
|
| ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්, |
|
| 4 |
|
| ඔබ, ඔබ අතරේම වෙනස්කම් සලසන, දුෂ්ට සිතිවිලි ඇති විනිශ්චයකරුවන් නො වන්නේ ද? |
|
| 5 |
|
| මේ අහන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිසත්, මේ ලෝකයේ දුගීන් උන්වහන්සේ තෝරා නො ගත් සේක් ද? |
|
| 6 |
|
| එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද? |
|
| 7 |
|
| ඔබ දරන ගෞරවණීය නාමයට අපහාස කරන්නේත් ඔවුන්ම නො වේ ද? |
|
| 8 |
|
| ශුද්ධ ලියවිල්ලට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජකීය නීතිය පිළිපදින්නේ නම්, ඔබ කරන්නේ හරි දෙයයි. |
|
| 9 |
|
| එහෙත් ඔබ තරාතිරම් බලන්නේ නම්, ඔබ පව් කරයි. නොපනත්කමේ වරදට, දහම් නීතියෙන් වරදකරුවන් කරනු ලබයි. |
|
| 10 |
|
| මන්ද මුළු දහම් නීතියම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු නීති සංග්‍රහය ගැනම වරදකරුවකු වෙයි. |
|
| 11 |
|
| “පරදාර සේවනය නො කරනු” යි කී තැනැන්වහන්සේ, “මිනී නො මරනු” කියා ද කී සේක. එබැවින් ඔබ පරදාර සේවනයේ යෙදුණේ නැති වුව ද, මිනී මරන්නේ නම්, නීතිය පිළිබඳ වරදකරුවකු වෙයි. |
|
| 12 |
|
| එබැවින් නිදහස් නීතියකින් විනිශ්චයට නියම වූවන් සේ කතා කරන්න; ක්‍රියා කරන්න. |
|
| 13 |
|
| මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිතව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී. |
|
| 14 |
|
| මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැතිනම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද? |
|
| 15 |
|
| හරි හැටි ඇඳුමක් නැති, එදිනෙදා කුසට අහර නැති සහෝදරයකුට හෝ සහෝදරියකට |
|
| 16 |
|
| ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද? |
|
| 17 |
|
| ඒ අයුරින් ක්‍රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි. |
|
| 18 |
|
| එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්. |
|
| 19 |
|
| දෙවියන්වහන්සේ එක් කෙනකු පමණක් බව ඔබ විශ්වාස කරයි. අගෙයි! යක්ෂාත්මයෝ පවා විශ්වාස කර වෙවුලති. |
|
| 20 |
|
| අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල වැඩකට නැති වගට සාධක වුවමනා ද? |
|
| 21 |
|
| අපගේ පිය වූ ආබ්‍රහම් ක්‍රියා තුළින් ධර්මිෂ්ඨ බවට පිළිගැනුනේ, ඔහු තම පුත් ඊසාක් පූජාසනය මත පූජා කළ කල්හි නො වේ ද? |
|
| 22 |
|
| ඔහුගේ ක්‍රියා සමඟ ඇදහිල්ල ක්‍රියාත්මක වූ වග හා ඔහුගේ ක්‍රියා තුළින් ඇදහිල්ල සම්පූර්ණ වූ වග ඔබට පෙනේ. |
|
| 23 |
|
| “ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඇදහී ය; ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම ලෙස ගණන් ගනු ලැබිණැ” යි පැවසෙන ශුද්ධ ලියවිල්ල එමඟින් සම්පූර්ණ වෙයි. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයා ලෙසින් හඳුන්වනු ලැබී ය. |
|
| 24 |
|
| යමකු දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරන්නේ ක්‍රියා මඟින් වගත්, ඇදහිල්ලෙන් පමණක් නො වන වගත් ඔබට පෙනේ. |
|
| 25 |
|
| එලෙසම රාහබ් වෙසඟන ඔත්තුකරුවන් පිළිගෙන, වෙනත් මඟකින් ඔවුන් පිටත් කර යැවූ කල, ඇය ද ධර්මිෂ්ඨ කරනු ලැබුවේ, ක්‍රියා මඟින් නො වේ ද? |
|
| 26 |
|
| ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි. |
|
|
|
|