|
| 1 |
|
| එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි. |
|
| 2 |
|
| මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමාන ය. උගේ පාද වලසෙකුගේ පාද වැනි ය. උගේ කට සිංහයෙකුගේ කට වැනි ය. මකරා සිය පරාක්‍රමය ද සිංහාසනය ද මහා අධිපතිකම ද ඌට දුන්නේ ය. |
|
| 3 |
|
| උගේ හිස්වලින් එකක මාරක තුවාළයක් තිබෙන්නාක් මෙන් පෙනිණි; එහෙත් උගේ මාරක තුවාළය සුව වී තිබිණි. මුළු ලෝකයා මවිත වෙමින් මෘගයා පසුපස්සේ ගියෝ ය. |
|
| 4 |
|
| මකරා මෘගයාට අධිපතිකම පැවරූ නිසා ඔව්හු මකරාට නමස්කාර කළහ. ඔව්හු මෘගයාටත් නමස්කාර කොට, “මෘගයාට සමාන කවරෙක් ද? ඌ හා සමඟ සටන් කිරීමට කවරෙකුට හැකි දැ”යි කී හ. |
|
| 5 |
|
| අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය. |
|
| 6 |
|
| එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය. |
|
| 7 |
|
| තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය. |
|
| 8 |
|
| මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය. |
|
| 9 |
|
| කන් ඇත්තේ අසා වා! |
|
| 10 |
|
| වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය. |
|
| 11 |
|
| එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය. |
|
| 12 |
|
| ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය. |
|
| 13 |
|
| සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහා හාස්කම් කෙළේ ය. |
|
| 14 |
|
| මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය. |
|
| 15 |
|
| ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය. |
|
| 16 |
|
| තවද, ඌ ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය; |
|
| 17 |
|
| ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස, අන් කිසිවෙකුට මිලයට ගන්නට වත් විකුණන්නට වත් ඉඩක් නොතැබී ය. |
|
| 18 |
|
| නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි (666). |
|
|
|
|