සිංහල NRSV
|
| 1 |
| ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිණි. ඔව්හු මෙසේ කී හ: “අලේලූයා! විමුක්තිය ද මහිමය ද බලය ද අපගේ දෙවියන් වහන්සේට හිමි ය. |
| 2 |
| මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.” |
| 3 |
| තව වරක් ඔව්හු, “අලේලූයා! ඇගේ දුම සදහට ම නගින්නේ ය”යි කී හ. |
| 4 |
| තවද කුලදෙටුවෝ විසිහතර දෙනා ද, ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද වැඳවැටී, “ආමෙන්, අලේලූයා” කියමින් සිංහාසනයේ වැඩහුන් දෙවියන් වහන්සේට නමස්කාර කළහ. |
| 5 |
| තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි. |
| 6 |
| එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත. |
| 7 |
| අපි අතිශයින් ප්‍රීති සන්තෝෂවෙමු. උන් වහන්සේට ගෞරවය පිරිනමමු. මන්ද, බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍යය පැමිණ ඇත. උන් වහන්සේගේ මනාලිය සැරසී සිටින්නී ය. |
| 8 |
| බැබළෙන, පිවිතුරු, සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈට අවසර දී ඇත.” සිනිඳු වස්ත්‍රවලින් සැදැහැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ. |
| 9 |
| එවිට දේව දූතයා මට කතා කොට: “බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි කී ය. “දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය”යි තවදුරටත් ඔහු මට කී ය. |
| 10 |
| එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු: “මට නමස්කාර නොකරන්න. මම, ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතු ය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු ය”යි මට කී ය. ඒ ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවිනි. |
| 11 |
| එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක. |
| 12 |
| උන් වහන්සේගේ නේත්‍ර අග්නි ජාලා මෙනි; උන් වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන් වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. |
| 13 |
| ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන් වහන්සේ ඇඳ සිටි සේක. “දෙවියන් වහන්සේගේ ධර්මයාණෝ” යයි උන් වහන්සේට කියන ලදී. |
| 14 |
| ස්වර්ගීක යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිට උන් වහන්සේ පසුපස්සේ ගියහ. |
| 15 |
| ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක. |
| 16 |
| උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ. |
| 17 |
| තවද හිරු මඬලෙහි දේව දුතයෙකු සිටිනු දිටිමි. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා: |
| 18 |
| “තෙපි රජුන්ගේ මස් ද සේනාධිපතීන්ගේ මස් ද බලවත් මිනිසුන්ගේ මස් ද අශ්වයන්ගේත් අශ්වාරෝහකයන්ගේත් මස් ද දාස නිර්දාස, ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස් ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්රැස් වෙයව්” යයි කී ය. |
| 19 |
| අශ්වාරෝහක තැනැන් වහන්සේටත්, උන් වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධ ව සටන් කිරීමට මෘගයා ද මිහි පිට රජවරුන් ද ඔවුන්ගේ යුද්ධ සේනා ද රැස් ව සිටිනු මම දිටිමි. |
| 20 |
| එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ. |
| 21 |
| සෙසු අය අශ්වාරෝහක තැනැන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරනු ලැබූ හ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංස ගිජු ලෙස ගිලදැමූ හ. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/revelation/019.mp3
22
19