|
| 1 |
|
| ඉන්පසු දේව දූතයන් සතර දෙනෙකු පොළොවේ සතර කොණේ සිටිනු දිටිමි. ඔව්හු ගොඩට වත් මුහුදට වත් කිසි ම ගසකට වත් සුළං නොවදින පිණිස පොළොවේ සතර දිග සුළඟ අල්ලාගෙන සිටියහ. |
|
| 2 |
|
| එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා, |
|
| 3 |
|
| “අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නළල් මත මුද්‍රා සලකුණ තබන තුරු, ගොඩට වත්, මුහුදට වත්, ගස්වලට වත් අනතුරක් නොකරන්නැ”යි කී ය. |
|
| 4 |
|
| තවද, මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුණේ ය. සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය එක් ලක්ෂ සතළිස් සාර දහසක් වූ හ. |
|
| 5 |
|
| ජූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රා කරනු ලැබූ හ. රූබන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද |
|
| 6 |
|
| ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද |
|
| 7 |
|
| සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද |
|
| 8 |
|
| සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් ද මුද්‍රා කරනු ලැබූ හ. |
|
| 9 |
|
| ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි. |
|
| 10 |
|
| ඔව්හු මහ හඬින් මොරගසා “සිංහාසනයෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන් ද බැටළු පෝතකයාණන්ගෙන් ද ගැළවීම පැමිණේ ය”යි කී හ. |
|
| 11 |
|
| සියලු දේව දූතයෝ සිංහාසනය ද කුලදෙටුවන් ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද සිසාරා, සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්, |
|
| 12 |
|
| “ආමෙන්! ප්‍රශංසාව ද මහිමය ද ප්‍රඥාව ද ස්තුතිය ද ගෞරවය ද බලය ද පරාක්‍රමය ද අපේ දෙවියන් වහන්සේට සදහට ම වේ වා! ආමෙන් ය”යි කී හ. |
|
| 13 |
|
| එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට, “සුදු සළු පැළඳගත් මොවුහු කවුරු ද? කොතැනින් ආවෝ දැ”යි මාගෙන් ඇසී ය. |
|
| 14 |
|
| “මාගේ ස්වාමීනි, ඔබ එය දන්නෙහි ය”යි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා, “මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔව්හු තම සළු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝ ය. |
|
| 15 |
|
| ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක. |
|
| 16 |
|
| ඔවුන්ට මින්පසු සාගින්නක් වත් පිපාසයක් වත් නැත. සූර්ය තාපය වත් දැවෙන ග්‍රීෂ්මය වත් ඔවුන් පෙළන්නේ නැත. |
|
| 17 |
|
| මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය. |
|
|
|
|