|
| 1 |
|
| එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ. |
|
| 2 |
|
| දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඉශ්රායෙල්හි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව හාරලක්ෂයක් වූ හ. |
|
| 3 |
|
| ඉශ්රායෙල්වරුන් මිශ්පාට ගිය බව බෙන්ජමින්වරුන්ට සැළ විය. “මේ දුෂ්ටකම සිදු වුණේ කෙසේ ද කියා කියන්නැ”යි ඉශ්රායෙල්වරු ඇසුවෝ ය. |
|
| 4 |
|
| එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා වන ලෙවීවරයා උත්තර දෙමින්, “මාගේ උපභාර්යාවත්, මමත් නවාතැන් ගන්නට බෙන්ජමින්වරුන්ට අයිති ගිබියාවට පැමිණියෙමු. |
|
| 5 |
|
| එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය. |
|
| 6 |
|
| එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. |
|
| 7 |
|
| ඉශ්රායෙල් ජනයෙනි, ඔබ සියලු දෙනා මෙහි රැස් ව සිටින්නහු ය. මේ කාරණා ගැන සාකච්ඡා කර, දැන් ම මෙහි දී තීරණයක් ගන්නැ”යි කීවේ ය. |
|
| 8 |
|
| එවිට මුළු සෙනඟ එකා මෙන් නැඟිට, කතා කොට, “අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේ ය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේ ය. |
|
| 9 |
|
| අප දැන් ගිබියාවට කරන දෙය මෙය යි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු. |
|
| 10 |
|
| සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ. |
|
| 11 |
|
| එකී ලෙස සියලු ඉශ්රායෙල් ගෝත්‍ර එකා මෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධ ව රැස් වූවෝ ය. |
|
| 12 |
|
| ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවුඩකාරයන් යවමින්, “ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක් ද? |
|
| 13 |
|
| ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා, ඉශ්රායෙල්වරුන් කෙරෙන් නපුර පහකර දමන පිණිස, ඔවුන් අපට පාවා දෙන්නැ”යි කීවෝ ය. එහෙත්, බෙන්ජමින්වරු තමන්ගේ සහෝදර ඉශ්රායෙල්වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමැති නො වූ හ. |
|
| 14 |
|
| බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත් ව ගිබියාවට එක්රැස් වූ හ. |
|
| 15 |
|
| ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ. |
|
| 16 |
|
| මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය. |
|
| 17 |
|
| බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය. |
|
| 18 |
|
| ඉශ්රායෙල් සෙනඟ පිටත් ව බෙතෙල්ට ගොස්, “බෙන්ජමින් සෙනඟට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුත්තෝ කවුරු දැ”යි දෙවියන් වහන්සේගෙන් විචාළෝ ය. “ජුදාවරුන් පළමු ව යා යුතු ය”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. |
|
| 19 |
|
| ඉශ්රායෙල් සෙනඟ උදේ නැඟිට ගිබියා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝ ය. |
|
| 20 |
|
| ඉශ්රායෙල් සෙනඟ බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව යුද්ධයට ගොස්, ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධ ව සටන සඳහා පිළිවෙළින් සැරසී සිටියෝ ය. |
|
| 21 |
|
| එවිට බෙන්ජමින්වරු ගිබියාවෙන් පිටත් ව අවුත්, ඒ දවසේ ඉශ්රායෙල්වරුන්ගේ මිනිසුන් විසිදෙදහසක් විනාශ කර, බිම හෙළා දැමුවෝ ය. |
|
| 22 |
|
| ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය. |
|
| 23 |
|
| තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. |
|
| 24 |
|
| ඉශ්රායෙල් සෙනඟ දෙ වන දින බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ඔවුන්ට ළඟා වූ හ. |
|
| 25 |
|
| එවිට බෙන්ජමින්වරු දෙ වන දා ඔවුන්ට විරුද්ධ ව ගිබියාවෙන් පිටතට අවුත්, යළිත් ඉශ්රායෙල්වරුන්ගෙන් මිනිසුන් දහඅටදහසක් විනාශ කර බිම හෙළුවෝ ය. මේ සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. |
|
| 26 |
|
| එකල සියලු ඉශ්රායෙල්වරු ද සකල ජනයා ද ගොස් බෙතෙල්ට පැමිණ, එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට, එදා සවස් වන තෙක් නිරාහාර ව සිට, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සහභාගිකමේ පූජා ද දවන යාග පූජා ද ඔප්පු කළෝ ය. |
|
| 27 |
|
| ඒ දවස්වල දී සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ හ. |
|
| 28 |
|
| ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ඒ දවස්වල දී ඒ ගිවිසුම් කරඬුව භාර ව සිටියේ ය. ඉශ්රායෙල්වරු කතා කොට, “අප සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවතත් යුද්ධයට යා යුතු ද නැතහොත් නතර විය යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මන්ද, හෙට ඔවුන් නුඹලා අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. |
|
| 29 |
|
| ඉශ්රායෙල්වරු ද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝ ය. |
|
| 30 |
|
| තුන් වන දා ඉශ්රායෙල්වරු බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව ගොස්, වෙන වතාවල දී මෙන් ගිබියාව ළඟ සැරසී සිටගත්හ. |
|
| 31 |
|
| බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ. |
|
| 32 |
|
| “පළමු වන වතාවේ දී මෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැ”යි බෙන්ජමින්වරු කී හ. එහෙත් ඉශ්රායෙල්වරු, “අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට, මාවත්වලට පමුණුවා ගනිමු”යි කීවෝ ය. |
|
| 33 |
|
| එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය. |
|
| 34 |
|
| සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් දසදහසක් ගිබියාව ඉදිරිපිටට ආහ. සටන ඉතා බලවත් විය. එහෙත්, බෙන්ජමින්වරු ඔවුන්ට විපත්තිය ආසන්න ව තිබුණු බව නොදැන සිටියහ. |
|
| 35 |
|
| සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ. |
|
| 36 |
|
| තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේ ය. ඉශ්රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින්, බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසු බැස ගියහ. |
|
| 37 |
|
| සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. |
|
| 38 |
|
| ඉශ්රායෙල්වරුන් ද සැඟවී සිටි අය ද අතර නියම කර තිබුණ ලකුණ නම්, නුවරින් මහත් දුම් කඳක් නැංවීම ය. |
|
| 39 |
|
| එය දුටු විට ඉශ්රායෙල්වරු සටනේ දී ආපසු හැරුණෝ ය. බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මරා, “පළමු වන සටනේ දී මෙන් ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැ”යි කීවෝ ය. |
|
| 40 |
|
| එහෙත්, ලකුණක් වන ඒ දුම් කඳ නගරයෙන් පටන් ගත්තේ ය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැම තැනින් ම දුම් අහසට නඟිනු දුටුවෝ ය. |
|
| 41 |
|
| ඉශ්රායෙල් සෙනඟ ද ආපසු හැරුණෝ ය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී, |
|
| 42 |
|
| ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝ ය. එහෙත්, සටන ඔවුන් පසුපස්සේ බලවත් ව පැවතුණේ ය. නගරවලින් පිටතට ආ තැනැත්තෝ මැදි ව සිටි අය විනාශ කළෝ ය. |
|
| 43 |
|
| ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය. |
|
| 44 |
|
| මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. |
|
| 45 |
|
| සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝ ය. ඔවුන්ගෙන් පන්දහසක් මාවත්වල දී මරනු ලැබූ හ. ඉශ්රායෙල්වරු සෙසු අය ගිදොම් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් දෙදහසක්දෙනා මැරුවෝ ය. |
|
| 46 |
|
| මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේ දී මැරුම්කෑ, කඩු හරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ විසිපන්දහසක් වූ හ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. |
|
| 47 |
|
| එහෙත්, මිනිස්සු හයසියයක් හැරී කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස්, රිම්මොන් පර්වතයේ හාර මාසයක් සිටියෝ ය. |
|
| 48 |
|
| ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය. |
|
|
|
|