|
| 1 |
|
| මසකට පමණ පසු අම්මොනිවරයෙකු වූ නාහාෂ් රජ ගිලියද් පෙදෙසෙහි තිබූ ජාබෙෂ් නගරයට විරුද්ධ ව පැමිණ එය වටලෑවේ ය. ජාබෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “අප සමඟ ගිවිසුමක් කළ මැනව, එවිට අපි ඔබට යටත් වන්නෙමු”යි නාහාෂ්ට කීවෝ ය. |
|
| 2 |
|
| අම්මොනිය නාහාෂ් ද පිළිතුරු දෙමින්, “ඔබ සියල්ලන්ගේ දකුණු ඇස් උගුලා දමා, එයින් ඉශ්රායෙල්වරුන් පිට නින්දාවක් පමුණුවන්නට මට ඉඩ දුන්නොත් පමණක් ඔබ සමඟ ගිවිසුමක් කරගන්නෙමි”යි ඔවුන්ට කීවේ ය. |
|
| 3 |
|
| ජාබෙෂ්හි ප්‍රජා මූලිකයෝ පිළිතුරු දෙමින්, “අප ඉශ්රායෙල්හි සියලු පළාත්වලට පණිවුඩකාරයන් යවන පිණිස අපට සත් දවසක් කල් දුන මැනව; අපට පිහිට වන්නට කිසිවෙක් නැත්නම්, අපි ඔබට යටත් වන්නෙමු”යි කීවෝ ය. |
|
| 4 |
|
| එකල පණිවුඩකාරයෝ සාවුල් සිටි ගිබියාට පැමිණ ඒ කාරණය සෙනඟ ඉදිරියෙහි ප්‍රකාශ කළෝ ය. ඒ ඇසූ මුළු සෙනඟ ශබ්ද නඟා හැඬූ හ. |
|
| 5 |
|
| ඒ අවස්ථාවේ දී සාවුල් කෙතේ සිට හරකුන් දක්කාගෙන එමින් සිටියේ ය. “සෙනඟ අඬන්නේ කුමන කාරණයක් නිසා දැ”යි ඔහු විමසුවේ ය. ඔව්හු ජාබෙෂ් සිට පැමිණි පණිවුඩකාරයන් කී දේ ඔහුට දැන්වූවෝ ය. |
|
| 6 |
|
| සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය. |
|
| 7 |
|
| එවිට ඔහු ගොන් බානක් ගෙන උන් කැබලිවලට කපා, “සාවුල් ද සාමුවෙල් ද කැටුව යුද්ධයට යමෙක් නොයනු ඇද්ද ඔහුගේ හරකුන්ට මෙසේ ම කරනු ලැබේ ය” කියා ඒ කැබලි පණිවුඩකාරයන් අත ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැවී ය. එවිට සෙනඟ පිට සමිඳාණන් වහන්සේ කෙරෙහි භීතියක් පහළ වී ඔව්හු සියලු දෙනා එක් කෙනෙකු මෙන් පිටත් ව ආවෝ ය. |
|
| 8 |
|
| සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය. |
|
| 9 |
|
| ඔව්හු පණිවුඩකාරයන්ට කතා කොට, “ ‘හෙට මද්දහනට පෙර ගිලියද්හි ජාබෙෂ් නගරය මුදනු ලබනු ඇතැ’යි ජාබෙෂ්-ගිලියද් මනුෂ්‍යයන්ට කියන්නැ”යි කීවෝ ය. පණිවුඩකාරයෝ ගොස් ජාබෙෂ්හි සෙනඟට එපවත් දැන්නුවෝ ය; ඔව්හු ද ප්‍රීතියෙන් පිනා ගියෝ ය. |
|
| 10 |
|
| එබැවින් ජාබෙෂ්හි සෙනඟ, “හෙට අපි ඔබට යටත් වන්නෙමු, එවිට ඔබ කැමැති ඕනෑ ම දෙයක් අපට කරන්නට පුළුවනැ”යි නාහාෂ්ට කීවෝ ය. |
|
| 11 |
|
| පසු දා සාවුල් සෙනඟ කණ්ඩායම් තුනකට බෙදුවේ ය; ඔව්හු එළි වන යාමයෙහි අම්මොනිවරුන්ගේ කඳවුර මැදට කඩා පැන ඉර මුදුන් වේලාව දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය. දෙදෙනෙකු එක තැනක නොසිටින ලෙස ඉතිරි වූ අය විසුරුවනු ලැබූ හ. |
|
| 12 |
|
| එවිට සෙනඟ සාමුවෙල්ට කතා කොට, “සාවුල් අපේ රජු නොවිය යුතුය යි කී සෙනඟ කවුරු ද? ඒ අය අපට භාර දෙන්න; අපි ඔවුන් මරන්නෙමු”යි කීවෝ ය. |
|
| 13 |
|
| එවිට සාවුල් සෙනඟ අමතා, “අද දවසේ දී සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගළවාගත් නිසා කිසිවෙකු මේ දවසේ දී මරණයට පත් නොකළ යුතු ය”යි කීවේ ය. |
|
| 14 |
|
| එවිට සාමුවෙල් සෙනඟට කතා කොට, “එන්න, අපි ගිල්ගාල්ට ගොස් එහි දී සාවුල් රජකමෙහි නැවත ස්ථිර කරමු’යි කීවේ ය. |
|
| 15 |
|
| සෙනඟ සියලු දෙනා ගිල්ගාල්ට ගොස් එහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාවුල් රාජ පදවියේ පිහිටුවා උන් වහන්සේට සහභාගිකමේ පූජා ඔප්පු කළෝ ය. සාවුල් ද ඉශ්රායෙල් සෙනඟ ද අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද වූ හ. |
|
|
|
|