අවුරුද්දකින් බයිබලය ඔක්තෝම්බර් 10ජෙරමියා 5:1-311. ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.2. ඔවුන්, ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන නමුත්, ඇත්තෙන් ම ඔවුන් දිවුරන්නේ බොරුවට ය.3. අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.4. එවිට මම මෙසේ කීවෙමි: “සැබැවින් ම මොවුහු අඥානයෝ ය. සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද නොදන්න බැවින් මොවුහු මෝඩ ලෙස හැසිරෙති.5. මම උත්තමයන් වෙත ගොස් ඔවුන්ට කතා කරන්නෙමි. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාර්ගය ද තමන්ගේ දෙවියන් වහන්සේගේ ආඥා ද දනිති.” එහෙත්, ඔව්හු සියල්ලෝ ම සමිඳාණන් වහන්සේගේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කර උන් වහන්සේට කීකරු වීමට අකමැති වූ හ.6. මේ නිසා කැළෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේ ය; සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්ති කරන්නේ ය; දිවියෙක් ඔවුන්ගේ නගර ළඟ රැක ඉන්නේ ය; එයින් පිටත යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝ ය. මන්ද, ඔවුන්ගේ වැරදි බහුල වී ඇත; ඔවුන්ගේ මිසදිටුකම වැඩි වී ඇත.7. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මා නුඹට කමා වන්නේ කෙසේ ද? නුඹේ දරුවෝ මා අත්හැර, බොරු දෙවිවරුන්ගේ නමින් දිවුළෝ ය. මා ඔවුන්ට කන්නට දී තෘප්තියට පැමිණෙවූ පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝ ය. ඔව්හු රංචු ගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුළු වුණෝ ය.8. ඔව්හු හොඳට පෝෂ්‍ය වී සිටින අශ්වයන් මෙන් එකිනෙකා තම තමාගේ අසල්වැසියාගේ භාර්යාවට හේෂාරව කළහ.9. මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් නොකර සිටිම් ද? මෙවැනි ජාතියකින් මම පළි නොගෙන සිටිම් ද? මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.10. දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.11. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මට විරුද්ධ ව බොහෝ සේ ද්‍රෝහිකම් කර ඇත. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”12. සෙනඟ සමිඳාණන් වහන්සේ ගැන බොරු කියා, “උන් වහන්සේ ක්‍රියා නොකර සිටින සේක; අප පිට කිසි විපතක් නොපැමිණෙයි; කඩුව වත්, සාගතය වත් දකින්නට අපට සිදු නොවෙයි;13. දිවැසිවරු සුළඟ හා සමාන ය; දේව වචනය ඔවුන් තුළ නැතැ”යි පවසති.14. ඔවුන්ට මෙසේ සිදු වනු ඇත. නුඹලා මෙසේ කියන බැවින් සියලු බලැති දෙවියන් වහන්සේ මට වදාරන වචන මෙසේ ය: “මාගේ වචන නුඹේ මුඛයෙහි ගින්නක් මෙන් ද සෙනඟ දර මෙන් ද කරන්නෙමි. එයින් ඔවුන් දැවී යනු ඇත.”15. ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.16. ඔවුන්ගේ ඊ කොපු ඇරී තිබෙන මිනීවළක් වැනි ය; ඔව්හු සියල්ලෝ ම වීරයෝ ය.17. ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.18. “එසේ වී නමුත් ඒ දවස්වල දී වුව ද සහමුලින් ම නුඹලා නැති කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.19. තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.20. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාකොබ්ගේ වංශයටත්, ජුදාහි සෙනඟටත් මෙසේ කියන්න:21. මෝඩ, තේරුම් නැති, ඇස් තිබෙන නමුත් නොදකින, කන් තිබෙන නමුත් නොඅසන ජනයෙනි,22. ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.23. එහෙත් ජනයෙනි, මේ සෙනඟට මුරණ්ඩු කැරලිකාර සිතක් ඇත. සෙනඟ ඉවතට හැරී මා අත්හැර ගොස් ඇත.24. ‘සරත් කාලයේ දී ද වසන්ත කාලයේ දී ද නියම කලට වැසි දෙන, ගොයම් කැපීමට නියම සති අපට සලසා දෙන අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය ඇති ව සිටිමු’යි මේ සෙනඟ වන නුඹලා තමන් සිත් තුළ නොකීවහු ය.25. නුඹලාගේ අපරාධ නිසා ඒවා පහ ව ගියේ ය; නුඹලාගේ පාපය නිසා ශුභසිද්ධිය නුඹලාට නොලැබී ගියේ ය.26. “මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.27. පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් කොල්ලකෑ දෙයින් පිරී තිබේ. ඒ නිසා ඔව්හු බලවත් වී, පොහොසත් වී සිටිති.28. තරබාරු සතුන් මෙන් වී වසති. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඉමක්කොනක් නැත. ඔව්හු අනාථයන්ගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස නොවිසඳා ඔවුන්ගේ සැහැසිකම් නොසලකා හරිති. දිළිඳුන්ට යුක්තිය ඉටු කර නොදෙති.29. එහෙයින්, මේ කාරණා නිසා මම ඔවුන්ට දඬුවම් කරමි; මේ ජාතියෙන් මම පළිගන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.30. පුදුම, භයංකර සිද්ධියක් දේශයෙහි සිදු වී ඇත.31. දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”ජෙරමියා 6:1-301. “බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.2. ශෝභන, සිව්මැලි තැනැත්තියක වන සියොන් පුරඟන වනසනු ලබන්නී ය.3. එඬේරු සිය පට්ටි රැගෙන ඈට විරුද්ධ ව පැමිණෙති. ඔව්හු ඈ වටලා, සිය කූඩාරම් පිහිටුවා, තමන් රිසි සේ නිල් තණ කවන්නෝ ය.4. තවද, ඔවුන් කතා කොට, ‘ජෙරුසලමට විරුද්ධ ව සටනට සැරසෙන්න; නැඟිටින්න, ඉර මුදුන් වේලාවේ දී අපි පහර දෙමු’යි කියනු ඇත. එසේ වුව ද, ‘දැන් කල් වේලා ගත වී ඇත; දවාල පහ වී සවස සෙවණැලි වැටීගෙන එයි;5. සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.6. “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.7. ළිඳකින් වතුර උනන සේ ජෙරුසලමෙන් නපුරුකම උනන්නේ ය. තාඩන පීඩන ගැන ආරංචි ඇසෙන්නේ ය; රෝගත්, තුවාළත් මට නිතර ම දක්නට ලැබේ.8. එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”9. සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: “කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”10. මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.11. ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.12. ඔවුන්ගේ ගෙවල් ද වතුපිටි ද භාර්යාවන් ද අන්‍යයන්ට අයිති වනු ඇත. මේ දේශයේ සිටින සෙනඟට මම දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.13. ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.14. තුවාළයකට මතුපිටින් පිළියම් කරන සේ සාමය නැති විට පවා ඔව්හු, ‘සාමය, සාමය’ කියමින් මාගේ සෙනඟ සනසති.15. ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”16. සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මං සන්ධිවල සිට බලා, පුරාණ මාර්ග මොනවා දැ යි ද යහපත් මාර්ගය කුමක් දැ යි ද අසා ඒ මඟ ඇවිදින්න; එවිට නුඹලාට සහනය ලැබෙන්නේ ය.”17. මම ඔවුන් වෙත මුරකරුවන් සිටුවා, “හොරණෑ ශබ්දයට සවන් දෙන්නැ”යි කීවෙමි. එහෙත්, ඔව්හු, “අපි සවන් නොදෙන්නෙමු”යි කී හ.18. එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීනි, සවන් දී මාගේ සෙනඟට සිදු වන්නට යන දේ ගැන දැනගන්න.19. එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.20. ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.21. එබැවින් නුඹලාගේ ස්වාමීන් වන මම, මේ සෙනඟ පැකිළී වැටෙන්නට සලස්වන බාධා පමුණුවන්නෙමි. පියවරුන් ද පුත්‍රයන් ද අසල්වැසියන් හා ඔවුන්ගේ මිතුරන් ද විනාශ වී යනු ඇත.”22. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත.23. ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”24. ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.25. එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”26. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.27. ජෙරමියා, නුඹ මාගේ සෙනඟගේ මාර්ගය දැනගන්න පිණිසත්, ඔවුන් අතරේ ඔවුන් පරීක්ෂා කර බලන පිණිසත් පරීක්ෂකයෙකු කොට මම නුඹ පත් කෙළෙමි.28. ඔව්හු සියල්ලෝ ම මුරණ්ඩු කැරලිකාරයෝ ය. කේළාම් කියමින් ඇවිදින්නෝ ය. ඔව්හු ලෝකඩ හා යකඩ මෙන් දැඩි ව සිටිති; ඔව්හු දූෂ්‍යකම් කරති.29. උදුන තද ගින්නෙන් ඇවිලීමෙන් වානේ උණු වේ. එහෙත්, ගින්නෙන් කොතරම් පිරිසිදු කළත් දුෂ්ටයෝ පිරිසිදු නොවෙති.30. ස්වාමීන් වන මා එපා කළ නිසා, ‘වෙට්ට රිදී ය’යි ඔව්හු කියනු ලබන්නෝ ය.”ගීතාවලිය 117:1-21. සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.2. මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.හිතෝපදේශ 27:3-43. ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.4. කෝපය කුරිරු ය; ක්‍රෝධය රුදුරු ය; එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?කොලොස්සි 1:1-291. දේව කැමැත්ත අනුව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි,2. කොලොස්සියේ සිටින, ක්‍රිස්තියානි ඇදහිලිවන්ත සහෝදර සැදැහැවතුන් වෙත ලියා එවමු. අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!3. අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු.4. මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි.5. ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය.6. ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය.7. අපගේ ප්‍රේමවන්ත හවුල් දාසයෙකු ද ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු ද වන එපප්‍රස් අප වෙනුවෙන් ඒ සුබ අස්න ඔබට ඉගැන්වී ය.8. ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය.9. මේ කරුණ නිසා, අපි එය ඇසූ දා පටන් ඔබ ගැන නොකඩව යාච්ඤා කෙළෙමු. සියලු ආකාර ප්‍රඥාව ද ලොව්තුරා ඥානය ද ලබා, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන,10. සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.11. ධෛර්යයෙන් ද ඉවසිල්ලෙන් ද ප්‍රීතියෙන් ද සියල්ල දරාගැනීමට දෙවියන් වහන්සේ ස්වකීය මහිමාන්විත බලපරාක්‍රමය අනුව සියලු ආකාර බලයෙන් ඔබ ශක්තිමත් කරන සේක් වා.12. ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.13. අන්ධකාරයේ බලයෙන් අප මුදා, තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණෙව්වේ උන් වහන්සේ ය.14. උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්රදානය කළ සේක.15. ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.16. මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ;17. උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය.18. උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක.19. මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය.20. උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.21. පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය.22. එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.23. එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි.24. ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.25. මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය.26. ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත.27. ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක.28. අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු.29. මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි. Sinhala Bible NRSV Ceylon Bible Society