අවුරුද්දකින් බයිබලය නොවැම්බර් 11එසකියෙල්ගේ 13:1-231. සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:2. “මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන ඉශ්රායෙල්හි දිවැසිවරුන්ට විරුද්ධ ව නුඹ දිවැස් වැකි කියමින්, සිය සිතින් දිවැස් වැකි මවා කියන්නන්ට මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ පණිවුඩය අසන්න.3. “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නොදැක, තමන්ගේ ම හැඟීම් අනුව දිවැස් කියන මෝඩ දිවැසිවරුන්ට වන විපතක මහත!4. අහෝ ඉශ්රායෙල්වරුනි! නුඹලාගේ දිවැසිවරු පාළු තැන්වල සිටින සිවලුන් හා සමාන වූ හ.5. නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත.6. සමිඳාණන් වහන්සේ ඔවුන් නොඑවූ නමුත්, ඔව්හු, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියති. ඔවුන්ගේ දර්ශන බොරු ය; ඔවුන්ගේ පේන කීම් මුසාවෝ ය. එහෙත්, ඒවා ඉටු වේ යයි ඔව්හු බලාපොරොත්තු වෙති.7. මා කතා නොකළ නමුත්, සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි නුඹලා කියන විට නුඹලා දුටුවේ නිෂ්ඵල දර්ශනයක් නොවේ ද? පැවසුවේ බොරු පේන කීමක් නොවේ ද?8. “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා නිෂ්ඵල දේ කියන්නටත්, බොරු දර්ශන දකින්නටත් යෙදුණ නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධ ව සිටිමි.9. මාගේ බලවත් හස්තය නිෂ්ඵල දර්ශන දකින බොරු දිවැස් කියන දිවැසිවරුන්ට විරුද්ධ ව ඔසවමි. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝ ය; ඉශ්රායෙල්වරුන්ගේ වංශාවලියේ ලියනු නොලබන්නෝ ය. ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.10. “මක්නිසා ද සාමය නැති කල්හි ‘සාමය’යි ඔව්හු මාගේ සෙනඟ මුළා කරවූවෝ ය; සෙනඟ තාප්පයක් ගොඩනඟන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.11. පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය.12. බලන්න, තාප්පය වැටුණු කල, ‘නුඹලා ගෑවා වූ බදාම කොයි දැ’යි මනුෂ්‍යයෝ නුඹලාට නොකියත් ද?13. “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.14. මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවා වූ තාප්පය කඩාදමා, මම එහි අත්තිවාරම මතු වන හැටියට එය බිම හෙළන්නෙමි. එය වැටෙනු ඇත. නුඹලා ද ඊට යට වී විනාශ වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.15. “මෙසේ මාගේ කෝපය තාප්පය පිටත්, එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා, ‘තාප්පය නැත, එහි බදාම ගෑවා වූ අයත් නැතැ’යි නුඹලාට කියන්නෙමි.16. ඔව්හු නම්, ජෙරුසලම ගැන දිවැස් වැකි කියමින් ‘සාමය නැති කල්හි අප උදෙසා සාම දර්ශන දකින ඉශ්රායෙල් දිවැසිවරුය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”17. තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්,18. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක: මිනිසුන් තමන් බලයට යටත් කරගැනීම සඳහා අතේ බඳින පිණිස සියලු දෙනාට යන්ත්‍ර මන්ත්‍ර ජප කරන, හිසේ දමාගන්න පිණිස නන්වැදෑරුම් හිස් වැසුම් මිනිසුන්ට සාදා දෙන ස්ත්රීන්ට වන විපතක මහත! නුඹලා මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්ති කරමින්, නුඹලාගේ ම ප්‍රාණ බේරාගන්නට නුඹලාට පුළුවන් ද?19. බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.20. “ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි.21. නුඹලාගේ හිස් වැසුම් මම ඉරාදමා, මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. ඔවුන් යටත් කර ගැනීමට නුඹලාගේ අතට අසුවන්නට ඉඩ නොදෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.22. “ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.23. නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහු ය. පේන නොකියන්නහු ය. මම ද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය’යි කියන්න.”එසකියෙල්ගේ 14:1-231. එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය.2. එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:3. “මනුෂ්‍ය පුත්‍රය, මේ මනුෂ්‍යයන් තමන්ගේ දේව රූපවලට සිය සිත් යොමු කර ඇත; ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දේ දෙසට නෙත් යොමා ඇත. මාගෙන් විමසන්න ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද?4. “එබැවින් ඔවුන් සමඟ කතා කර ඔවුන්ට කියන්න, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව රූපවලට සිය සිත් යොමු කරගත්, ඔවුන්ගේ වැටීමට හේතු වන පාපිෂ්ඨ දෙයට නෙත් යොමු කරගත් යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ දේව රූප බහුල වීම නිසා ස්වාමීන් වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි.5. මෙසේ කරන්නේ, මුළු ඉශ්රායෙල් වංශය තමන්ගේ දේව රූප කරණකොටගෙන මාගෙන් වෙන් ව ගිය බැවින් ඔවුන් ආපසු මා වෙත දිනාගන්න පිණිස ය.’6. “එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න.7. “කුමක් නිසා ද, ඉශ්රායෙල් වංශයෙන් හෝ ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරන විදේශීන්ගෙන් හෝ මාගෙන් වෙන් වී තමාගේ දේව රූපවලට නමස්කාර කරමින්, තමාගේ වැටීමට හේතු වන දේ කෙරෙහි සිත් යොමු කරමින් සිටින යම් කිසිවෙකු දිවැසිවරයෙකු මඟින් මාගෙන් කරුණු විමසන්න පැමිණි කල්හි සමිඳාණන් වහන්සේ වන මම ම ඔහුට පෞද්ගලික වශයෙන් පිළිතුරු දෙන්නෙමි.8. මම ඒ මනුෂ්‍යයාට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ආදර්ශයක් හා පාඩමක් වශයෙන් මම ඔහු මාගේ සෙනඟ අතරෙන් නෙරපා දමන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.9. “දිවැසිවරයා රැවටී කතා කරයි නම්, ඒ දිවැසිවරයා රවටා ඇත්තේ සමිඳාණෝ වන මම ය. මම ඔහුට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙන් ඔහු නෙරපාදමමි.10. ඔවුන් තමන්ගේ අයුතුකමේ විපාකය විඳිනු ඇත. දිවැසිවරයාගේ වරදත්, ඔහුගෙන් විමසන්නාගේ වරදත්, එක හා සමාන ව බරපතල වන්නේ ය.11. මෙසේ වන්නේ, ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළා ව නොගොස්, තමන්ගේ සියලු අපරාධවලින් තවත් නොකෙලෙසී ඔවුන් මාගේ සෙනඟ වන පිණිසත්, මා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිසත් ය. මෙසේ පවසන්නේ දෙවියන් වහන්සේ ය.”12. සමිඳාණන් වහන්සේ තවදුරටත් මට කතා කොට මෙසේ වදාළ සේක:13. “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම් කරමින් මට විරුද්ධ ව පව් කරන්නේ නම්, මම ඊට විරුද්ධ ව මාගේ අත දිගු කොට එහි කෑම තොග නැති කරදමා, ඊට විරුද්ධ ව සාගතය යවා, මනුෂ්‍යයන් සහ මෘගයන් විනාශ කරදමන්නෙමි.14. එකල්හි නෝවා ද දානියෙල් ද ජෝබ් ද යන මේ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, ඔවුන්ට තමන්ගේ ධර්මිෂ්ඨකමින් ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ප්‍රාණ පමණකි.15. චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට,16. ඒ මනුෂ්‍යයන් තිදෙනා එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය. ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකි. දේශය ද පාළුවක් වනු ඇත. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.17. “නොහොත් මා යුද්ධ කඩුවක් ඒ දේශයට විරුද්ධ ව පමුණුවා, ‘කඩුව, දේශය මුළුල්ලෙහි යව’ කියා එතැනින් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන විට,18. ඒ මනුෂ්‍යයන් තුන්දෙනා එහි සිටියත් මගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි. ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන්ට ගළවාගත හැකි වන්නේ ඔවුන්ගේ ම ජීවිත පමණකැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.19. “මා ඒ දේශයට වසංගතය එවා එතැනින් මනුෂ්‍යයන් ද මෘගයන් ද විනාශ කරදමන පිණිස මාගේ කෝපය ඒ කෙරෙහි වගුරුවා බොහෝ දෙනා විනාශ කරදමන විට,20. නෝවා ද දානියෙල් ද ජෝබ් ද එහි සිටියත්, මාගේ ජීවමාන නාමයෙන් දිවුරා කියමි, ඔවුන්ට සිය දරුදැරියන් වත් ගළවාගත නොහැකි වන්නේ ය; ඔවුන් තමන්ගේ ධර්මිෂ්ඨකමින් සිය ප්‍රාණය පමණක් ගළවාගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.21. “තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද?22. එහෙත්, එහි පුත්‍රයෝ ද දූවරු ද ස්වල්ප දෙනෙකු ඉතිරි වුණොත් ඔව්හු පිටතට පමුණුවනු ලබන්නෝ ය. ඔවුන් නුඹලා වෙත පැමිණෙන විට ඔවුන් දෙස බලන්න. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ඔවුන්ගේ ක්‍රියා ද සලකා බලන්න. එවිට මා ජෙරුසලමට කළ සියලු හානි ද ඒ පිට පැමිණෙවූ සියලු විපත්ති ද යුක්ති සහගත බව නුඹලාට පෙනෙනු ඇත.23. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා ද දුටු විට නුඹලා සැනසෙනු ඇත. කුමක් නිසා ද, මා එහි කළ සියල්ල නිකරුණේ නොකළ බව නුඹලා දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ “ගීතාවලිය 122:6-96. ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා!7. තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා!8. මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: “ජෙරුසලම තුළ සාමදානය වේ වා!”9. අපේ දෙව් සමිඳුන්ගේ මාලිගාව නිසා මම තිගේ යහපත සොයන්නෙමි.හිතෝපදේශ 28:19-1919. වැර වීරියෙන් වගාකරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නාගේ දිළිඳු බව ඉමහත් ය.හෙබ්‍රෙව් 7:1-281. මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය.2. ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය.3. තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.4. මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න.5. ආදි පිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම්, ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහොයුරන්ගෙන් පවා, දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති.6. එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නො වූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු හිමි වූ ඔහුට ආශීර්වාද කෙළේ ය.7. ආශීර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිත ය.8. එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති; අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමාන ව සිටින බවට සහතිකයක් ලද්දෙකි.9. ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවී පවා ආබ්‍රහම් හේතුකොටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකි ය.10. මන්ද, මෙල්කිසදෙක් ආබ්‍රහම්ට හමු වූ විට ලෙවී තම ආදි පියා තුළ සිටියේ ය.11. ඉශ්රායෙල් සෙනඟට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවීගේ පූජකත්වය සම්බන්ධ කරගෙන ය. ඒ පූජකත්වය හේතුකොටගෙන පූර්ණත්වය ලැබී නම්, ආරොන්ගේ පූජක පිළිවෙළ අනුව නො වූ, මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව වෙන පූජකයෙකුගේ පහළ වීම ගැන කතා කරන්නේ කෙසේ ද?12. මන්ද, පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතු ම ය.13. එසේය, යමෙකු ගැන මේ දේ කියන ලද්දේ ද, ඒ තැනැන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූ සේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකෙළේ ය.14. මන්ද, අපගේ සමිඳාණන් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලි ය. පූජකයන් ගැන කතා කිරීමේ දී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත.15. මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණි නිසා මේ කරුණ වඩාත් පැහැදිලි ය.16. උන් වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව, අමරණීය ජීවිතයක බල මහිමය අනුව ය.17. මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ.18. පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද, ව්‍යවස්ථාව මඟින් කිසිවක් සම්පූර්ණ නො වී ය.19. එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මඟින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.20. තවද, දිවුරුම් දීමක් ද ඇත. ලෙවීය පූජකයන් පත් කිරීමේ දී දිවුරුම් දීමක් නො වී ය.21. එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.”22. මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයාණන් ද වී සිටින සේක.23. තවද, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංබ්‍යාව, විශාල විය.24. එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය.25. එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ වෙතට ළඟා වන්නන් සදහට ම ගළවන්නට උන් වහන්සේට පිළිවන. මන්ද, ඔවුන් උදෙසා මැදහත් වීමට උන් වහන්සේ සදහට ම ජීවත් වන බැවිනි.26. අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.27. අන් උත්තම පූජකයන් මෙන්, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත. මන්ද, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක.28. දුර්වලකම් ඇති මනුෂ්‍යයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදහට ම සම්පූර්ණ ව සිටින පුත්‍රයාණෝ පත් කරනු ලැබූ හ. Sinhala Bible NRSV Ceylon Bible Society