|
|
| 1. සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: |
| 2. “මනුෂ්‍ය පුත්‍රය, වනයේ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීවල අගයක් තිබේ ද? |
| 3. මිදි වැලේ ලීයෙන් කිසිවක් තැනිය හැකි ද? නොහොත් යම් භාජනයක් එල්ලා තබන්න ඇබයක් වත් සාදාගත හැකි ද? |
| 4. බලන්න, එය දර පිණිස ගින්නට දැමෙයි. එහි කොන් දෙක ගින්නෙන් දැවී ගොස් මැදත් අඟුරු වී ඇත. එය යම් වැඩකට සුදුසු ද? |
| 5. එය හොඳින් තිබිය දී වත් කිසි වැඩකට සුදුසු නො වී ය. එසේ නම්, එය ගින්නෙහි දැවී අඟුරු වී තිබිය දී කිසිවකට සුදුසු වන්නේ කෙසේ ද? යම් වැඩකට යොදාගත හැකි ද? |
| 6. “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම වනයෙන් මිදි වැලේ ලීය ගෙන පුළුස්සාදැමුවාක් මෙන් ජෙරුසලම් වැසියන්ට දඬුවම් කරන්නෙමි. |
| 7. මම ඔවුන්ට විරුද්ධ ව මුහුණ දෙන්නෙමි. ඔවුන් ගින්නෙන් බේරී ගිය නමුත්, දැන් ගින්නෙන් ඔවුන් දැවී යනු ඇත. මා ඔවුන්ට විරුද්ධ ව මාගේ මුහුණ අහකට හරවාගත් විට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. |
| 8. ඔවුන් ද්‍රෝහිකම් කළ නිසා මම දේශය මරුකතරක් කරන්නෙමි.’ “ |
|
|
| 1. නැවතත් සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: |
| 2. “මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න: |
| 3. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරන සේක. “ “ ‘ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිති ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙකි. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියකි. |
| 4. නුඹ උපන් දවසේ දී, නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැළ කැපුවේ වත්, පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නෑවුවේ වත්, නුඹේ ඇඟේ ලුණු කොහෙත් ම ගෑවේ වත්, නුඹ හාන් රෙදිවලින් එතුවේ වත් නැත. |
| 5. නුඹට අනුකම්පා කොට මේවායින් එකක් වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේ ය. නුඹ උපන් දවසේ දී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එළිමහනේ පිටතට විසි කරදමනු ලැබුවෙහි ය. |
| 6. “ ‘මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක, ‘නුඹ ලේවල වැතිර සිටිය දී ජීවත් වී |
| 7. කෙතේ පැළයක් මෙන් වැඩෙන්නැ’යි මම කීවෙමි. නුඹ ද වැඩී, උස් වී පූර්ණ වියට පැමිණියෙහි ය. නුඹේ පියයුරු සෑදුණේ ය. නුඹේ ඉසකේ ද වැඩුණේ ය. එහෙත්, නුඹ නිර්වස්ත්‍ර ව නග්න ව සිටියෙහි ය. |
| 8. “ ‘යළිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම් බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා, නුඹේ නිර්වස්ත්‍රකම වසා, නුඹට දිවුරුම් දී, නුඹ සමඟ ගිවිසුමක් කර, ‘නුඹ ද මට අයිති වූවෙහි ය’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සේක. |
| 9. “ ‘එවිට මම නුඹ වතුරෙන් නාවා, නුඹේ සිරුරෙන් ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙළෙමි. |
| 10. විසිතුරු වැඩදැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා, කදිම හම් පාවහන් නුඹට දමා, සිහින් හණ රෙදි පිළියෙන් වසා පට රෙදිවලින් නුඹ සැරසුවෙමි. |
| 11. මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි. |
| 12. නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි. |
| 13. මෙසේ නුඹ රන් රිදීවලින් සැරසී සිටියෙහි ය; නුඹේ වස්ත්‍ර සිහින් හණ රෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටි ද මී පැණි ද තෙල් ද කෑවෙහි ය. නුඹ අතිශයින් ම ශෝභමාන වී රැජිනක බවට පත් වූයෙහි ය. |
| 14. නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. |
| 15. “ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එහෙත්, නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා, නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන, ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තෙහි ය. |
| 16. නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත. |
| 17. මා නුඹට දුන් මාගේ රන් රිදීවලින් සෑදූ නුඹේ ලක්ෂණ ආභරණ රැගෙන, නුඹ පුරුෂයන්ගේ රූප සාදාගෙන ඒවා සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. |
| 18. නුඹේ විසිතුරු වස්ත්‍රවලින් නුඹ ඒවා වසා, මාගේ තෙල් ද මාගේ සුගන්ධ ද්‍රව්‍ය ද ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය. |
| 19. මා විසින් නුඹට දෙන ලද මාගේ කෑම වන සිහින් පිටි ද තෙල් ද මී පැණි ද නුඹ මිහිරි සුවඳ පිණිස ඒවා ඉදිරියෙහි පූජා කෙළෙහි ය. |
| 20. “ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය. |
| 21. නුඹ වේශ්‍යාකම් කළා පමණක් නොව, නුඹ මාගේ දරුවන් ඝාතනය කර ගිනි පූජාවක් ලෙස ඔප්පු කෙළෙහි ය. |
| 22. නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවල දී ද වේශ්‍යාකම්වල දී ද නුඹ නිර්වස්ත්‍ර ව, නග්න ව, නුඹේ ලේවල වැතිර සිටි නුඹේ බාල කාලය නුඹ කවදාවත් සිහි නො කෙළෙහි ය.’ “ |
| 23. “ ‘එම්බා ජෙරුසලම! නුඹට වන දරුණු විපතක මහතැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. මන්ද, නුඹේ සියලු දුෂ්ටකම්වලට පසු, |
| 24. නුඹ සෑම වීදියක ප්‍රසිද්ධ තැන්වල වේශ්‍යාකම් කිරීම සඳහා ද දේව රූපවලට නැමදීම සඳහා ද ස්ථාන සාදාගත්තෙහි ය. |
| 25. නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය. |
| 26. තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කෝප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය. |
| 27. “ ‘එබැවින් මම මාගේ අත නුඹට විරුද්ධ ව දිගු කොට, නුඹේ කෑම කොටස අඩු කර, නුඹට වෛර වන, නුඹේ සල්ලාල ජීවිතය ගැන ලජ්ජාවට පත් ව සිටින, පිලිස්තිවරුන්ගේ කාන්තාවන්ගේ ආශාවට නුඹ භාර දිනිමි. |
| 28. “ ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය. |
| 29. නුඹ කානාන් දේශයෙහි දී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය. එහෙත්, නුඹ එයිනුත් සෑහීමට නොපැමිණියෙහි ය. |
| 30. “ ‘අසංවර වේශ්‍යා ස්ත්‍රියකගේ ක්‍රියා වන මේ සියල්ල කරන නුඹ දොළදුකින් සිටිනු නොවේ දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක. |
| 31. එසේ ය, නුඹේ සියලු මාර්ගවල නුඹ යහන් තනාගෙන සියලු වීදිවල නුඹේ කඳු මත පූජාස්ථාන සාදාගත්තෙහි ය. එහෙත්, සාමාන්‍ය වෙසඟනක සේ නුඹට මුදල් ලබාගැනීමේ ආශාවක් නැත. |
| 32. නුඹ නම්, සිය ස්වාමි පුරුෂයාට ප්‍රේම කරනු වෙනුවට අමුත්තන් සමඟ කම් සැප විඳින ස්ත්‍රියක වැනි ය. |
| 33. සියලු වේශ්‍යාවන්ට යම් මුදලක් ගෙවනු ලැබේ. එහෙත්, නුඹ නුඹේ සියලු පෙම්වතුන්ට නුඹේ මුදල් දී, නුඹ සමඟ වේශ්‍යාකම් කිරීමට, හැම අතින් ම නුඹ සමඟ කම් සැපෙහි යෙදෙන්න නුඹ ඔවුන්ට තෑගි බෝග දුන්නෙහි ය. |
| 34. එබැවින් නුඹේ වේශ්‍යාකම්වල දී නුඹේ හැසිරීම අන් ස්ත්‍රීන්ට වඩා වෙනස් ය. කුමක් නිසා ද, වේශ්‍යාකමට කිසිවෙක් නුඹ පස්සේ එන්නේ නැත. නුඹ මුදල් දෙනවා මිස කිසිවෙක් නුඹට මුදල් දෙන්නේ නැත. මේ නිසා නුඹ අන් වෙසඟනන්ට වඩා වෙනස් ය.’ “ |
| 35. “ ‘එබැවින්, එම්බා වෙසඟනක වන ජෙරුසලම! සමිඳාණන් වහන්සේගේ පණිවුඩයට සවන් දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: |
| 36. “ ‘නුඹ විළිබිය නොතකා, නග්න වී, නුඹේ පෙම්වතුන් හා පිළිකුල් රූප සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. ඒ රූපවලට පූජාවන් මෙන් දරුවන් මැරුවෙහි ය. |
| 37. එබැවින් නුඹ කම් සැපට වසඟකරගත් නුඹේ සියලු ප්‍රේමවන්තයන් ද නුඹ ප්‍රේම කළ සියල්ලන් ද නුඹ වෛර කළ සියල්ලන් ද මම රැස් කරමි. මම ඔවුන් නුඹට විරුද්ධ ව නුඹ වටේට රැස් කොට, ඔවුන් නුඹේ නග්න භාවය දකින පිණිස නුඹ නිරුවත් කොට දක්වාලමි. |
| 38. පර පුරුෂ සේවනයෙහි යෙදෙන මිනීමරු කාන්තාවන්ට ම දිය යුතු නිසි විනිශ්චය දී, නුඹට දඬුවම් කොට නුඹ උදහසට හා කෝපයට ලක් කිරීමට මම සලසන්නෙමි. |
| 39. මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත. |
| 40. “ ‘ඔවුන් නුඹට විරුද්ධ ව සෙනඟක් පොළඹවා, නුඹට ගල් ගසා, ඔවුන් තමන්ගේ කඩුවලින් නුඹ කපා කැබලි කරනු ඇත. |
| 41. ඔවුන් නුඹේ ගෙවල් ගිනි ලා, බොහෝ ස්ත්‍රීන් බලා සිටිය දී නුඹ කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරනු ඇත. වේශ්‍යාකම් කිරීමෙන් මම නුඹ නවත්වන්නෙමි; පෙම්වතුන්ට මුදල් දීම ද නවත්වන්නෙමි. |
| 42. මෙසේ නුඹට විරුද්ධ ව ඇති මාගේ උදහස ද මාගේ ඊර්ෂ්‍යාව ද නුඹ කෙරෙන් පහ ව යනු ඇත. මම සන්සුන් ව තවත් උදහස් නොවී සිටින්නෙමි. |
| 43. නුඹ නුඹේ බාල කාලය අමතක කොට, නුඹ කළ සියල්ලෙන් මා උදහස් කළ බැවින් එහි දුර්විපාක මම නුඹ පිට පැමිණෙව්වෙමි. නුඹ ද නුඹේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට, මේ නපුරු දූෂ්‍යකම් කෙළේ මන්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේක.’ “ |
| 44. “උපමා කියන අය, ‘මව යම් සේ ද දුවත් එසේ ම ය’ යන මේ ප්‍රස්තාව පිරුළ නුඹ ගැන කියනු ඇත. |
| 45. ඇත්තට ම නුඹ පුරුෂයාටත්, දරුවාටත් ද්වේෂ කළ මවගේ දුව ය; නුඹ පුරුෂයන්ට ද දරුවන්ට ද ද්වේෂ කළ නුඹේ සහෝදරියන්ගේ සහෝදරී ය. නුඹේ මව හිත්තීය ජාතික ස්ත්‍රියක් ය. නුඹේ පියා අමෝරිය ජාතිකයෙක් ය. |
| 46. “නුඹේ වැඩිමහල් සහෝදරී වූකලී නුඹට උතුරු පැත්තෙන් සිය දූවරුන් සමඟ වාසය කරන සමාරිය දේශය වේ. නුඹේ බාල සහෝදරී නුඹට දකුණු පසින් සිය දූවරුන් සමඟ වාසය කරන සොදොම් පෙදෙස වේ. |
| 47. එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය. |
| 48. “මාගේ ජීවමාන නාමයෙන් මෙසේ දිවුරා කියමි; නුඹ සහ නුඹේ දූවරුන් කළ ලෙස නුඹේ සහෝදරී වූ සොදොම සහ ඇගේ දූවරුන් කෙළේ නැත් මැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. |
| 49. නුඹේ සහෝදරී වූ සොදොම්ගේ අපරාධ මෙසේ ය: ඈ සහ ඇගේ දූවරු අහංකාරී ව සිටියහ; අධික ආහාර ද සැප පහසුකම් ද ඇති ව සිටියහ. එහෙත්, ඔවුන් අසරණයන් ද දිළිඳුන් ද සැලකුවේ නැත. |
| 50. ඔවුන් උඩඟු ව සිට මා ඉදිරියෙහි පිළිකුල් ක්‍රියා කළ බැවින්, එය දුටු විට මම ඔවුන් ඉවත් කෙළෙමි. |
| 51. “සමාරිය නුඹ කළ පව්වලින් අර්ධයක් වත් නොකළා ය. නුඹ ඔවුන්ට වඩා අධික ලෙස පිළිකුල් ක්‍රියා කෙළෙහි ය. ඒ සමඟ සැසඳූ විට නුඹේ සහෝදරියන් පෙනෙන්නේ ධර්මිෂ්ඨයන් වශයෙනි. |
| 52. නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.” |
| 53. “සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි. |
| 54. නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත. |
| 55. නුඹේ සහෝදරියන් වන සොදොම් සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; සමාරිය සහ එහි ගම් ද තමන්ගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත; නුඹ සහ නුඹේ ගම් ද නුඹලාගේ පළමු ස්වභාවයට පැමිණෙනු ඇත. |
| 56. නුඹේ දූෂණ හෙළි කරනු ලබන්න පෙර, නුඹ අහංකාරී ව සිටි කාලයේ දී නුඹ සොදොම්ට උසුළු-විසුළු කළා නොවේ ද? දැන් නුඹ සොදොම් මෙන් ඒදොම්වරුන්ට ද පිලිස්තිවරුන්ට ද විහිළුවක් වී ඇත. නුඹට ද්වේෂ කළ නුඹේ අසල්වාසීන්ට ද නුඹ විහිළුවක් වී ඇත. |
| 57. *** |
| 58. නුඹ කළ අශික්ෂිත පිළිකුල් කටයුතු ක්‍රියාවල විපාකය නුඹ දැරිය යුතු ය.’ මෙසේ පැවසුවේ සමිඳාණන් වහන්සේ ය.” |
| 59. “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ගිවිසුම කඩ කරමින්, දිවුරුම සුළු කළ නුඹේ ක්‍රියාවලට සුදුසු ලෙස මම නුඹ ගැන ක්‍රියා කරන්නෙමි. |
| 60. එහෙත්, මා නුඹේ බාල කාලයේ දී නුඹ සමඟ කළ මාගේ ගිවිසුම සිහි කොට, සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. |
| 61. නුඹේ වැඩිමහල් වූ ද බාල වූ ද සහෝදරියන් ආපසු පිළිගත් විට නුඹ නුඹේ කල්ක්‍රියාව සිහි කොට ලජ්ජාවන්නෙහි ය. නුඹ සමඟ මා කළ ගිවිසුමේ කොටසක් නොවූවත්, මම ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි. |
| 62. මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය. |
| 63. නුඹ කළ සියලු වරදට මම නුඹට කමා වන්නෙමි. එහෙත්, නුඹ ඒවා සිහි කොට ලජ්ජාවෙන් තවත් කට නෑර සිටින්නෙහි ය. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.” |
|
|
| 1. සගලොව වැඩ වසන සමිඳුනි ඔබ දෙස මාගේ ඇස් ඔසවමි. |
| 2. බලව, දාසයෙකුගේ ඇස් සිය ස්වාමියාගේ අත දෙසත්, දාසියකගේ ඇස් සිය ස්වාමි දුවගේ අත දෙසත් යොමු වී තිබෙන්නාක් මෙන්, අපේ දෙවිඳාණන්ගේ කරුණාව අප වෙත පහළ වන තෙක්, අපේ දෑස එතුමාණන් දෙස යොමා තිබේ. |
| 3. සමිඳුනි, අපට කරුණා කළ මැනව; අපට කරුණා කළ මැනව. මන්ද, අපි අධික ලෙස නින්දාවට ලක් වී සිටියෙමු. |
| 4. සුව පහසු ලබමින් සිටින අයගේ උපහාසයටත්, අහංකාරීන්ගේ නින්දාවටත් අපි බොහෝ කල් ලක් වී සිටියෙමු. |
|
|
| 20. විශ්වාස කටයුතු මිනිසාට ආසිරි විපුල ය; ධනය ඉපැයීමට ඉක්මන් වන්නා දඬුවම් ලබනු නියත ය. |
|
|
| 1. අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන, |
| 2. මනුෂ්‍යයා විසින් නොව සමිඳාණන් වහන්සේ විසින් සාදන ලද ශුද්ධස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක. |
| 3. සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතු ය. |
| 4. උන් වහන්සේ තවමත් මිහි පිට සිටින සේක් නම්, උන් වහන්සේට කිසි සේත් පූජකයෙකු විය නොහැකි ය. මන්ද, ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි. |
| 5. මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති. |
| 6. එහෙත් දැන් උන් වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මැදහත්කාරයාණන් ව සිටින සේ ම උන් වහන්සේ වඩා උතුම් සේවක ධුරයක් ලැබූ සේක: |
| 7. පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. |
| 8. එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: “බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේ ය. |
| 9. එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේ දී ඔවුන් සමඟ කළ ගිවිසුම මෙන් නොවේ; මන්ද, ඔව්හු මාගේ ගිවිසුමෙහි නොපැවතුණාහ, මම ද ඔවුන් නොසලකා හැරියෙමි. |
| 10. ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය. |
| 11. සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය. මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය. |
| 12. මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.” |
| 13. අලුත් ගිවිසුම යයි කීමෙන් පළමු වැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟ ය. |
|
|
| Sinhala Bible NRSV |
| Ceylon Bible Society |