අවුරුද්දකින් බයිබලය නොවැම්බර් 4විලාප ගී 3:1-661. එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය.2. එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.3. සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක.4. එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.5. එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක.6. පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක.7. බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක.8. මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක.9. එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක.10. එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක.11. එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක. මා පිළිකුලක් කළ සේක.12. එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක.13. එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක.14. මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.15. එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක.16. එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක.17. සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත.18. දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.”19. මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය.20. මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.21. එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය.22. “සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය.23. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.”24. මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.25. සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.26. සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.27. තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය.28. එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා!29. සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි.30. ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ!31. මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.32. එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.33. මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක.34. දේශයේ සෑම හිරකාරයන් තළා පෙළා පොඩි කිරීම ද35. මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේ දී මිනිසුන්ගේ යුක්තිය පෙරළාදැමීම ද36. මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.37. සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.38. සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද?39. අපේ පව් ගැන දඬුවම ලබන නිසා අප කොඳුරන්නේ කුමට ද?40. අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.41. ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.42. “අපි වනාහි වරද කොට කැරලි ගැසීමු; ඔබ කමා නොකළ සේක.43. ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක. අනුකම්පා නොකොට අප මරාදැමූ සේක.44. අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.45. ඔබ විජාතීන් අතරෙහි අප කසළ ගොඩක් මෙන් කළ සේක.46. අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.47. භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.48. මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි.49. සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු,50. මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.51. නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.52. නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.53. ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ.54. වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.55. සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි.56. මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක.57. මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.58. සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක.59. සමිඳුනි, ඔබ මාගේ පීඩාව දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව.60. ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක.61. සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක.62. මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක.63. ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි.64. සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව.65. සිත් දැඩිකම වන සාපය ඔබ ඔවුන්ට දුන මැනව.66. ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”විලාප ගී 4:1-221. පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.2. අගනා රන් මෙන් වටිනා සියොන්හි තරුණයන් කුම්භකාරයාගේ අත්වලින් සාදන ලද භාජන මෙන් සලකනු ලබන හැටි!3. සිවල් දෙන්නු පවා උන්ගේ පැටවුන්ට කිරි පොවති. එහෙත්, මාගේ සෙනඟගේ දූවරු කාන්තාරයේ පැස්බරුන් මෙන් කෲර වී සිටිති.4. කිරි දරුවාගේ දිව පිපාසය නිසා තල්ලේ ඇලෙයි. කුඩා දරුවෝ කෑම ඉල්ලති, කිසිවෙක් ඔවුන්ට කෑම නොදෙති.5. රස කෑම කෑ අය අසරණ ව වීදිවල හිඳිති. රතු ඇතිරිලි පිට ඇතිදැඩි වූ අය කසළ ගොඩවල් වැළඳගෙන හිඳිති.6. කිසිවෙකුගෙන් පහර නොලබා ඇසිල්ලකින් මෙන් විනාශ වූ සොදොම් නගරයේ පාපයට වඩා මාගේ සෙනඟගේ අයුතුකම් මහත් ය. 7. ඇගේ වංශාධිපතීහු හිමවලට වඩා පිරිසිදු ව, කිරිවලට වඩා සුදු ව සිටියෝ ය. රතු කැටවලට වඩා ඔවුන්ගේ සිරුර රතු ව තිබුණේ ය. ඔවුන්ගේ ඔපය නීලමාණික්‍ය මෙන් විය.8. දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළු ය. ඔවුන් වීදිවල දී ඇඳිනගන්න වත් බැරි ය. ඔවුන්ගේ හම ලී මෙන් වියළී ඔවුන්ගේ ඇටවලට ඇළී ඇත.9. සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේ ය. මන්ද, මොවුහු කෙතේ අස්වැන්න නැති බැවින් කෙමෙන් පීඩිත වී, ක්ෂය වී යති.10. දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය. මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ. 11. සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක. සියොන්හි ගින්නක් ඇවිළු සේක. එයින් එහි අත්තිවාරම් දැවී ගියේ ය.12. ‘එදිරිකාරයා සහ සතුරා ජෙරුසලමේ දොරටුවලට ඇතුළු වන්නේ ය’යි පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝ ද විශ්වාස නොකළෝ ය.13. මෙසේ වනුයේ, දමිටු ලේ නගරය තුළ වැගිරෙවූ දිවැසිවරුන්ගේ පව් නිසාත්, පූජකයන්ගේ අපරාධ නිසාත් ය.14. ඔව්හු අන්ධයන් මෙන් වීදිවල ඔබමොබ යති. මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්නට බැරි තරමට ඔව්හු ලෙයින් කිළුටු වී සිටිති.15. “ඉවත් වන්න, අපවිත්‍ර ය. ඉවත් වන්න, ඉවත් වන්න, අපට අත නො ගසන්නැ”යි ඔව්හු ඔවුන්ට මොරගසා කී හ. ඔවුන් පලා ගොස් ඔබමොබ ගිය විට, “ඔව්හු තවත් මෙහි නොසිටිති”යි විජාතීන් අතරේ කියන ලද්දේ ය.16. සමිඳාණෝ ම ඔවුන් විසුරුවා හැරිය සේක. එතුමාණෝ තවත් ඔවුන් නොසලකන සේක. සෙනඟ පූජකයන්ට ගරු නොකළ හ. වැඩිහිටියන්ට කරුණාව නොදැක්වූ හ.17. නොලැබෙන උපකාර ගැන බලා සිටීමෙන් අපේ ඇස් තවත් අඳුරු වී යන්නේ ය. ගළවන්න බැරි ජාතියක් ගැන මුර කුළුණු උඩ අපි බලා සිටියෙමු.18. අපේ වීදිවල අපට යන්න බැරි වන ලෙස අපේ සතුරෝ අපේ යාම් ඊම් සෝදිසියෙන් බලා සිටියහ. අපේ අන්තිමය ආසන්න ය; අපේ ඉරණම තීන්දු ය; මන්ද, අපේ අන්තිමය පැමිණ ඇත.19. අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.20. “ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය.21. ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.22. එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය. එතුමාණෝ තවත් ඔබ විප්‍රවාසයට ගෙන නොයන සේක. එම්බා ඒදොම් පුරඟන, එතුමාණෝ ඔබේ අයුතුකමට දඬුවම් කරන සේක. ඔබේ පව් එළිදරව් කරන සේක.විලාප ගී 5:1-221. සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව.2. අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.3. අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය. අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය.4. අප අපේ ම වතුර මිල දී ගත යුතු ය. අපේ ම දර අපට විකුණනු ලැබේ.5. වියගහ අපේ කර පිට ය. මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු. එහෙත්, අපට සහනයක් නැත.6. සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.7. අපේ පියවරු පව් කළෝ ය; ඔව්හු දැන් නැත. ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු.8. වහල්ලු අප ආණ්ඩු කරති. ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත.9. පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.10. සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.11. සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.12. අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ.13. වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති.14. මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය.15. අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය. අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය.16. අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!17. මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ. මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ.18. එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි.19. එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.20. මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?21. සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.22. ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද? ඔබේ කෝපයට සීමාවක් නැද් ද?ගීතාවලිය 119:145-152145. මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි. සමිඳුනි, මට පිළිතුරු දුන මැනව. ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.146. මම ඔබට අඬගැසීමි; මා මුදාලුව මැනව. එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.147. මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.148. ඔබේ පොරොන්දුව ගැන භාවනා කරන පිණිස රෑ යාමය මුළුල්ලේ මම අවදි ව සිටිමි.149. ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.150. නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති. ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති.151. සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක. ඔබේ සියලු ආඥා සත්‍ය ය.152. ඔබේ ශික්ෂා පද කලක සිට දැන සිටියෙමි. ඔබ ඒවා සදහට ම පැණවූ සේක.හිතෝපදේශ 28:11-1111. ධනවතා තමන් නැණවතෙකැ යි සිතයි; එහෙත් ඔහුගේ නියම තත්ත්වය දත් දිළිඳා එය වටහාගනියි.පිලෙමොන් 1:1-251. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, අපගේ ප්‍රේමණීය සහකාර සේවකයෙකු වන පිලෙමොන් වෙතට ද ඔබේ ගෙදර රැස් වන සභාවට ද2. අපගේ සහෝදරී වූ අපියාට ද අපගේ සහකාර හේවායෙකු වන අර්කිපස්ට ද මෙය ලියා එවමු.3. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!4. මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි.5. එසේ කරන්නේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ කෙරෙහි ද, සියලු සැදැහැවතුන් කෙරෙහි ද ඇති ඔබේ ප්‍රේමයත්, ඇදහිල්ලත් ගැන මා අසා තිබෙන බැවිනි.6. මාගේ යාච්ඤාව නම්, නුඹ තුළ පවතින සියලු යහපත් දේ ගැන දැන ගැනීමෙන් නුඹේ ඇදහිල්ලේ සහභාගිකම ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පලදායී වීමයි.7. සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.8. මේ නිසා, කළ යුතු දේ පිළිබඳ ව ඔබට අණ කරන්නට ක්‍රිස්තුන් වහන්සේ තුළ මට නිදහස ඇති නමුත්,9. එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි.10. ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.11. වරක් ඔහු ඔබට නිෂ්ප්රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි.12. මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි.13. සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතාගැනීමට මම කැමැත්තෙමි.14. එහෙත් ඔබේ අනුමැතිය නැති ව කිසිත් කරන්නට මම කැමැති නොවෙමි. මන්ද, ඔබේ උපකාරය බල කිරීමෙන් නොව, සිය කැමැත්තෙන් ම දෙන දෙයක් විය යුතු යි.15. සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කලකට වෙන් වූයේ, නැවත ඔහු ඔබට නිත්‍ය ලෙස අයිති වන පිණිස විය හැකි ය.16. එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳාණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය.17. ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න.18. ඔහු ඔබට යම් වරදක් කර ඇත්නම්, නොහොත් ඔබට ණය ව සිටී නම් ඒ වගකීම මම භාරගනිමි.19. පාවුලු නම් මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේ ලියන අතර, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත.20. මාගේ සහෝදරය, සමිඳාණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න.21. මා මෙය ලියන විට, මා ඉල්ලන දේ ඔබ ම ඉටු කරන බවත් ඉල්ලනවාටත් වඩා ඔබ ඉටු කරන බවත් මට සහතික ය.22. ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.23. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා මා සමඟ හිරකාරයෙකු වන එපප්‍රස් ද24. මාගේ හවුල් සේවකයන් වන මාක් ද අරිස්තර්කස් ද දේමස් ද ලූක් ද ඔබට ආචාර කරති.25. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කරුණාව ඔබ හැම සමඟ පවතී වා! Sinhala Bible NRSV Ceylon Bible Society