අවුරුද්දකින් බයිබලය දෙසැම්බර් 10හොසියා 11:1-111. “ඉශ්රායෙල් බාල වියේ දී මම ඔහුට ප්‍රේම කෙළෙමි; මා පුත් ඔහු මිසරයෙන් කැඳවාගතිමි.2. මා ඔවුන් පුතෙකු සේ සලකන්න සලකන්න ඔව්හු වඩ වඩා මට පිටුපා යන්න ගියෝ ය. ඔව්හු බාල් දේවතාවන්ට පූජා කළහ; කැපූ රූපවලට සුවඳ දුම් ඔප්පු කළහ.3. එප්‍රායිම් සෙනඟට ඇවිදින්නට ඉගැන්නුවේ මම ය. දෑතින් ඔවුන් වඩාගත්තේ මම ය. එහෙත්, මා ඔවුන් රැකබලාගත් බව ඔව්හු නොදැන සිටියෝ ය.4. දයාවේ රැහැන්වලින් ද ප්‍රේමයේ බැමිවලින් ද මම ඔවුන්ට මඟ පෙන්නුවෙමි. ළදරුවෙකු ඔසවන සේ මම ඔවුන් මාගේ මුහුණට ඔසවාගතිමි; පහතට නැමී ඔවුන්ට කෑම කැව්වෙමි.5. “ඔවුන් මා වෙත හැරී එන්නට අකමැති නිසා ඔවුන්ට මිසරයට ආපසු යන්න සිදු වේ. අසිරියා රජු ඔවුන් පාලනය කරනු ඇත.6. ඔවුන්ගේ කුමන්ත්‍රණ නිසා ඔවුන්ගේ නගරවල යුද්ධ හටගෙන, එහි දොරටුවල පොලු බිඳ වැටී ඔවුන් විනාශ වනු ඇත.7. ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.8. “එප්‍රායිම් ජනයෙනි, මම කෙසේ ඔබ පාවා දෙන්නෙම් ද? ඉශ්රායෙල්, ඔබ කෙසේ අත්හරිම් ද? මා අද්මා නුවරට කළාක් මෙන් මට ඔබටත් කළ හැකි ද? ශෙබොයිම් නුවරට කළාක් මෙන් ඔබටත් කළ හැකි ද? එසේ කරන්නට මාගේ සිත ඉඩ නොදෙයි. ඒ ගැන සිතන විට මාගේ සිත කම්පා වෙයි. 9. දැඩි කෝපයට මම ඉඩ නොදෙමි. මම නැවත එප්‍රායිම් විනාශ නොකරමි. මන්ද, මම මනුෂ්‍යයෙකු නොව දෙවියන් වහන්සේ වෙමි. ඔබ සමඟ සිටින ශුද්ධ තැනැන් වහන්සේ මම ය, විනාශ කරන්නට මට ආශාවක් නැත. කෝපයෙන් මම ඔබ වෙත නොඑමි.10. “ඔව්හු සමිඳාණන් වහන්සේ පසුපස්සේ එන්නෝ ය. මම සිංහයෙකු සේ ගොරවමි. මා ගොරවන විට දරුවෝ ද වෙවුලමින් බටහිර සිට එන්නෝ ය.11. ඔව්හු කුරුල්ලන් මෙන් මිසර දේශයෙන් ද පරවියන් මෙන් අසිරියාවෙන් ද විගසින් එන්නාහ. මම නැවත ඔවුන්, ඔවුන්ගේ නිවාසවලට ගෙනෙන්නෙමි. සමිඳාණන් වහන්සේ වන මම මෙසේ කීවෙමි.”හොසියා 12:1-141. එප්‍රායිම් පෙරදිග සුළඟ පස්සේ දුවමින් එයින් වාසි ගැනීමට මාන බලති. බොරුව ද අපරාධය ද ඔවුන් අතර අධික වී ඇත. ඔව්හු අසිරියාව සමඟ ගිවිසුම් ද මිසර දේශය සමඟ තෙල් ගනු දෙනු ද කරගනිති.”2. ජුදාහි සෙනඟට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට පැමිණිල්ලක් ඇත. තවද, උන් වහන්සේ ජාකොබ් සෙනඟගේ හැසිරීමට නිසි දඬුවම දෙන සේක. ඔවුන්ගේ ක්‍රියාවලට නිසි විපාකය දෙන සේක.3. මවු කුසයේ සිටිය දී ම ජාකොබ් සිය සහෝදරයා රැවටුවේ ය. ඔහු වැඩිහිටියෙකු වූ විට දෙවියන් වහන්සේට විරුද්ධ ව පොරබැදුවේ ය.4. ඔහු දේව දූතයෙකු සමඟ පොරබදා ජයගත්තේ ය. ඔහු හඬා ආශීර්වාදයක් ඉල්ලුවේ ය. උන් වහන්සේ ඔහුට සම්බ විය. උන් වහන්සේ බෙතෙල්හි දී ඔහු සමඟ කතා කළ සේක.5. මම වනාහි සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේගේ නාමය සමිඳාණන් වහන්සේ ය.6. එබැවින් නුඹලා දෙවියන් වහන්සේ වෙත හැරී, ප්‍රේමයෙන්, යුක්තිගරුක ව උන් වහන්සේ කෙරෙහි නිරන්තර බලාපොරොත්තුවෙන් සිටින්න.7. ඉශ්රායෙල් සෙනඟ කානානි ජාතික වෙළෙන්දන් මෙන් හොර තරාදි ඇති ව අනුන් රැවටීමට ප්‍රිය වෙති.8. එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.9. මිසර දේශයෙන් ගෙනා දා සිට නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. පාළුකරයේ දී මෙන් නුඹලා කූඩාරම්වල ජීවත් වුණා සේ ම ඉදිරියටත් නුඹලා කූඩාරම්වල වාසය කරවන්නෙමි.10. ඇරත් මම දිවැසිවරයන්ට කතා කොට, “මම ම බොහෝ දර්ශන පෙන්වා දිවැසිවරුන් මඟින් උපමා භාවිතා කෙළෙමි.11. ගිලියද්හි ඔවුන් අයුතුකම් කර ඇත. ඔව්හු සහමුලින් ම නිෂ්ඵල ය. ඔව්හු ගිලියද්හි ගොනුන් පූජා කරති. එසේ ය, ඔවුන්ගේ පූජාසන ද කෙතේ හීවිටි මත තිබෙන ගල් ගොඩවල් වැනි ය.”12. ජාකොබ්ට මෙසොපොතේමියාවට පලා යන්නට සිදු විය. එහි දී භාර්යාවක ලබාගන්න පිණිස සේවය කරමින් බැටළුවන් බලාගත්තේ ය.13. සමිඳාණන් වහන්සේ දිවැසිවරයෙකු ලවා මිසර දේශයෙන් ඉශ්රායෙල් මුදාගත් සේක. දිවැසිවරයෙකු ලවා ඔවුන් ආරක්ෂා කළ සේක.14. එප්‍රායිම් සෙනඟ දෙවියන් වහන්සේ තදින් කෝප කරවා ඇත. එබැවින් ඔවුන්ගේ අපරාධවලට ඔවුන්ට මරණ දඬුවම දෙනු ඇත. උන් වහන්සේට කර ඇති නින්දාව, උන් වහන්සේ ඔවුන් පිට ම පවරන සේක.ගීතාවලිය 139:17-2417. දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද? එහි අදහස් කොපමණ අසීමිත ද?18. ගණනින් ඒවා වැලිවලටත් වැඩි ය. ඒවා කෙසේ මට ගිණිය හැකි ද? ඒවා ගැන නිම කිරීමට නම්, ඔබට මෙන් ආයුස මටත් තිබිය යුතු ය.19. දෙවිඳුනි, ඔබ දුෂ්ටයන් මරන සේක් නම්, මම කොපමණ කැමැත්තෙම් ද? දුදනෝ මාගෙන් අහක් ව යන්නෝ නම්, මම කොපමණ ආසා වෙම් ද?20. ඔබේ සතුරෝ ඔබට විරුද්ධ ව කතා කියති; ඔව්හු ඔබේ වචන නොසලකා හරිති.21. සමිඳුනි, ඔබට වෛර කරන්නන්ට මම වෛර නොකරම් ද? ඔබට විරුද්ධ ව නැඟිටින්නන්ට මම විරුද්ධ නොවෙම් ද?22. මම ඔවුන්ට සහමුලින් වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන්ගනිමි.23. දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.24. මම පව් මඟ ගමන් කරම් දැ යි බැලුව මැනව. සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව.හිතෝපදේශ 29:22-2222. කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.ජූද් 1:1-251. මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද, ජාකොබ්ගේ සහෝදරයා ද වන ජූද්ගෙනි. මෙය ලියා එවන්නේ, දෙවි පියාණන් වහන්සේ ප්‍රේම කරන, උන් වහන්සේ කැඳවා වදාළ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආරක්ෂාවෙහි පවතින අය වෙතට ය.2. කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!3. ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.4. මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.5. සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.6. තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.7. තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.8. එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.9. එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.10. එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.11. අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.12. ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.13. ඔව්හු, ස්වකීය නින්දාව නමැති පෙණ දමන මුහුදේ, රෞද්‍ර තරංග වැනි ය; ඒ මේ අත දුවන තාරකා වැනි ය. තික්ත කළුවර තැනක් ඔවුන්ට සදහට ම නියම කොට ඇත.14. ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.15. එසේ කෙළේ, සියල්ලන් විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැන ද, අභක්තික පව්කාරයන් වන ඔවුන් විසින් උන් වහන්සේට විරුද්ධ ව කියන ලද තද පරුෂ වචන ගැන ද ඔවුන් වරදට පත් කරන පිණිසත් ය”යි කියා ඇත.16. මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.17. ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න:18. “අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.19. ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය.20. එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න.21. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.22. සැක සිත් ඇති සමහරුන්ට අනුකම්පා කරන්න;23. සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.24. ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,25. අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්. Sinhala Bible NRSV Ceylon Bible Society