|
|
| 1. එප්‍රායිම් වංශය කතා කළ විට අන් සියල්ලෝ වෙවුලුවෝ ය. මන්ද, ඉශ්රායෙල් වංශ අතරේ එප්‍රායිම් එපමණට උසස් කොට සලකනු ලැබී ය. එහෙත්, එහි වැසියෝ බාල් දේවතාවන්ට නමස්කාර කිරීමේ වරදට පත් වූ බැවින් මරණයට පත් වූ හ. |
| 2. දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති. |
| 3. එබැවින් ඔව්හු අලුයම මීදුම මෙන් ද ඉක්මනින් නැති වී යන පිනි මෙන් ද සුළඟට ගසාගෙන යන කමතේ බොල් මෙන් ද දුම් කවුළුවෙන් පිට වෙන දුම මෙන් ද වන්නෝ ය. |
| 4. “නුඹලා මිසර දේශයෙන් ගෙනා දා සිට ම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. මා හැර අන් දෙවි කෙනෙකු ඔබ නොදැන සිටියහු ය. මා හැර අන් ගැළවුම්කාරයෙක් නුඹලාට නැත. |
| 5. තද ඉඩෝරය ඇති පාළුකරයේ නුඹලා පෝෂණය කෙළේ මම ය. |
| 6. ඔව්හු පසු ව තෘප්තියට පැමිණියෝ ය. තෘප්තියට පැමිණ උඩඟු වූ හ. එවිට ඔව්හු මා අමතක කළෝ ය. |
| 7. එබැවින් මම ඔවුන්ට සිංහයෙකු මෙන් වන්නෙමි; මඟ රැක සිටින දිවියෙකු මෙන් වන්නෙමි. |
| 8. පැටවුන් නැති වූ වැලහින්නියක මෙන් මම ඔවුන් පිට කඩා පැන ඔවුන් දෙපළු කරදමන්නෙමි. සිංහයෙකු මෙන් මම ඔවුන් එතැනදී ම කාදමන්නෙමි. වන මෘගයෙකු මෙන් ඉරාදමන්නෙමි. |
| 9. “අනේ ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා විනාශ කරදමන්නෙමි. නුඹලාට පිහිට වන්නේ කවරෙක් ද? |
| 10. නුඹලා රජ කෙනෙකු ද අධිපතීන් ද ඉල්ලුවහු ය. නුඹලා ගළවාගන්න නුඹලාගේ රජ දැන් කොහේ ද? නුඹලා ආරක්ෂා කරන්න අධිපතීහු කොහේ ද? |
| 11. මාගේ උදහසින් මම නුඹලාට රජෙකු දිනිමි; මම කෝපයෙන් ඔහු පහ කෙළෙමි. |
| 12. “එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත. |
| 13. ඉශ්රායෙල් වනාහි, බිහි වීමට අවස්ථාව පැමිණ ඇතත්, මවු කුසයෙන් පිටතට නොඑන මෝඩ දරුවෙකු හා සමාන ය. එබැවින් ප්‍රසූත කාලය පැමිණියත් ඔහු බිහි නොවෙයි. |
| 14. මම මේ සෙනඟ පාතාලයෙන් ගළවන්නෙම් ද? මරණ බලයෙන් මුදන්නෙම් ද? එම්බා මරණය! ඔබේ වසංගතය කොහේ ද? එම්බා පාතාලය! ඔබේ විනාශය කොහේ ද? මොවුන් කෙරෙහි මට අනුකම්පාවක් නැත. |
| 15. ඔවුන් සශ්‍රික බට ගස්මෙන් සරු වෙතත්, ඔවුන්ගේ උල්පත් හා ජලාශ වියළී යන පිණිස සමිඳාණන් වහන්සේ පාළුකරයෙන් පෙරදිග සුළඟක් එවන සේක. වටිනා සියලු දේ එයින් නැති වී යන්නේ ය. |
|
|
| 1. ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය. |
| 2. සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: “අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන් පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු. |
| 3. අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.” |
| 4. “මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි; මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි. මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත. |
| 5. ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි. ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත; ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත. |
| 6. ඔවුන්ගේ අතු විහිදී යයි; ඔලීව ගස් මෙන් හොබනේ වෙයි; ලෙබනොන්හි මෙන් සුවඳ පතුරයි. |
| 7. ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත; උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත; ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත. |
| 8. එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද? නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය. මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි. නුඹලාගේ රැකවරණය මම ය. නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.” |
| 9. මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති. |
|
|
| 1. දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව. සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව. |
| 2. ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති. |
| 3.
ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය.
ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
|
| 4. සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති. |
| 5. උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය. ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ. |
|
|
| 23. අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි. |
|
|
| 1. දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක. |
| 2. ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය. |
| 3. මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය. |
| 4. ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත් |
| 5. මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක. |
| 6. තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්. |
| 7. බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්. |
| 8. “ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක. |
| 9. ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය. |
| 10. සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි. |
| 11. “ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය. |
| 12. එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, |
| 13. ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි. |
| 14. උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය; |
| 15. පාද උදුනක ගිනියම් කළ දිළිසෙන ලෝකඩ වැනි ය; උන් වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂයක් හා සමාන ය; |
| 16. දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි. |
| 17. උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය, |
| 18. ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත. |
| 19. එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න. |
| 20. මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය. |
|
|
| Sinhala Bible NRSV |
| Ceylon Bible Society |