අවුරුද්දකින් බයිබලය ජුලි 132 වංශාවලියේ 21:1-201. ජෙහෝෂාපාට් මියගිය පසු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරන ලද්දේ ය. ඔහුගේ පුත් ජෙහෝරාම් ඔහු වෙනුවට රජ විය.2. ජෙහෝෂාපාට්ගේ පුත්‍රයන් වන අශරියා, ජෙහීයෙල්, ශෙකරියා, අශරියා, මීකායෙල්, ෂෙපටියා යන මොවුහු ඔහුගේ සහෝදරයෝ ය. මේ සියල්ලෝ ඉශ්රායෙල්හි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්‍රයෝ ය.3. ඔවුන්ගේ පියා රන් රිදී ද අනර්ඝ දේවල් ද වන බොහෝ තෑගි ද ජුදාහි බලකොටු නගර ද ඔවුන්ට දුන්නේ ය. එහෙත්, ජෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය බාර දුන්නේ ය.4. ජෙහෝරාම් තම පියාගේ රාජ්‍යයට පැමිණ බලවත් වූ කල, තමාගේ සියලු සහෝදරයන් ද ඉශ්රායෙල්හි සමහර අධිපතීන් ද කඩුවෙන් මැරී ය.5. ජෙහෝරාම් තිස්දෑවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි අට අවුරුද්දක් රජකම් කෙළේ ය.6. ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුවක සරණ පාවා ගත්තේ ය. මෙසේ ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.7. එහෙත්, සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ කළ ගිවිසුම නිසා ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් සෑමකල්හි ම නොනිවෙන පහනක් සේ එහි රජකම දෙන්න පොරොන්දු වූ නිසා ද දාවිත්ගේ වංශය නැති කරන්න අකමැති වූ සේක.8. ඔහුගේ කාලයේ දී ඒදොම්වරු කැරලි ගසා ජුදාවරුන් යටතෙන් අහක් ව තමන්ට රජෙකු පත්කර ගත්තෝ ය.9. එවිට ජෙහෝරාම් තමාගේ අධිපතීන් ද සියලු රථ ද සමඟ ගොස්, රාත්‍රියේ නැඟිට, තමා වටකර සිටි ඒදොම්වරුන්ටත්, රථාධිපතීන්ටත් පහර දුන්නේ ය.10. මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය.11. ඇරත්, ඔහු ජුදා ගිරිකුළු දේවාල සාදා, ජෙරුසලමේ වැසියන් අන් දෙවිවරුන් ඇදහීමට පොළඹවා ජුදාවරුන් මුළා කරවී ය.12. තවද, දිවැසිවර එලියා විසින් ලියන ලද ලියවිල්ලක් ඔහුට ලැබුණේ ය. එහි ලියා තිබුණේ, “ඔබේ පියා වන දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබේ පිය වූ ජෙහෝෂාපාට්ගේ අඩි පාරේත්, ජුදාහි රජ වූ ආසාගේ අඩි පාරේත් ඔබ නොගොස්,13. ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කරමින්, ආහබ්ගේ වංශය කළ පරිදි ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද අන් දෙවිවරුන් ඇදහීමට පමුණුවා, ඔබේ පියාගේ වංශය වන, ඔබට වඩා යහපත් වන ඔබේ සහෝදරයන් මැරූ බැවින්,14. සමිඳාණන් වහන්සේ ඔබේ සෙනඟටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ භාර්යාවන්ටත්, ඔබේ සියලු සම්පත්වලටත් මහත් පීඩාවකින් පීඩා කරනු ඇත.15. ඔබේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටී යන ලෙස ඒවායෙහි දරුණු රෝග වන්නේ ය” කියා ය.16. එලෙස සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කුෂ්වරුන්ට ළං ව වාසය කරන අරාබිවරුන්ගේ ද සිත් ජෙහෝරාම්ට විරුද්ධ ව පෙළඹෙවූ සේක.17. ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.18. මේ සියල්ලට පසු ඔහුගේ බඩවැල් වල වැළඳි අසාධ්‍ය රෝගයකින් සමිඳාණන් වහන්සේ ඔහුට පහර දුන් සේක.19. එම රෝගය කලක් පැවතිණි. දෑවුරුද්දක් පසු වූ කල, ඒ රෝගය නිසා ඔහුගේ බඩවැල් වැටී ගියේ ය. ඔහු ද දරුණු රෝග වේදනාවෙන් මළේ ය. ඔහුගේ පියවරුන්ගේ ගෞරවය ලෙස ගිනි මැලයක් දැල් වූ පරිදි ඔහුගේ සෙනඟ ඔහු ගැන ගිනි මැලයක් නොදැල් වූ හ.20. ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.2 වංශාවලියේ 22:1-121. ජෙරුසලමේ වැසියෝ රජුගේ බාල පුත් අහසියා ඔහු වෙනුවට රජකමට පත් කළෝ ය. මන්ද, අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව රජුගේ සියලු වැඩිමහල් පුත්‍රයන් මරා දමා තිබිණි. එබැවින් ජුදාහි රජ වූ ජෙහෝරාම්ගේ පුත් අහසියා රජකම් කෙළේ ය.2. අහසියා හතළිස්දෑවුරුදු වයසේ දී රජ වී අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අතලියා ය. ඈ ඔම්රීගේ මිණිබිරියකි.3. ඔහු ද ආහබ්ගේ වංශයෙන් පැවතෙන්නන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, දුෂ්ටකම් කිරීමට ඔහුගේ මවු තොමෝ ඔහුට උපදෙස් දුන්නා ය.4. ආහබ්ගේ වංශය කළාක් මෙන් ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේ ය. මන්ද, ඔහුට විනාශය පැමිණෙන ලෙස ඔව්හු ඔහුගේ පියාගේ මරණයෙන් පසු ඔහුගේ උපදේශකයෝ වූ හ.5. ඔහුත් ඔවුන්ගේ අවවාද ලෙස හැසිර, ආහබ්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෙහෝරාම් සමඟ සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධයට ගියේ ය. සිරියන්වරු ජෙහෝරාම්ට තුවාළ කළෝ ය.6. ඔහු සිරියාවේ රජ වූ හසායෙල්ට විරුද්ධ ව සටන් කරන අතර, රාමාහි දී සිරියන්වරුන් විසින් ඔහුට කරන ලද තුවාළ ජෙශ්‍රෙයෙල්හි දී සුව කරවාගන්න පිණිස හැරී ආවේ ය. ජුදාහි රජ ජෙහෝරාම්ගේ පුත් අහසියා ද ආහබ්ගේ පුත් ජෙහෝරාම් රෝගාතුර ව සිටි බැවින් ඔහු බලන්න ජෙශ්‍රෙයෙල්ට ගියේ ය.7. ජෙහෝරාම් ළඟට යාම නිසා අහසියාට වූ විනාශය දෙවියන් වහන්සේ කෙරෙන් විය. මන්ද, ඔහු ගිය කල ආහබ්ගේ වංශය වනසන පිණිස සමිඳාණන් වහන්සේ විසින් අභිෂේක කරන ලද නිම්ෂිගේ පුත් ජේහුට විරුද්ධ ව ඔහු ජෙහෝරාම් සමඟ ගියේ ය.8. තවද, ජේහු ආහබ්ගේ වංශය කෙරෙහි විනිශ්චය ඉෂ්ට කරද්දී ජුදාහි අධිපතීන් ද අහසියාට සේවය කළ අහසියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් ද සම්බ වී ඔවුන් මැරුවේ ය.9. ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.10. එකල අහසියාගේ මව වූ අතලියා තමාගේ පුත්‍රයා මළ බව දැක, නැඟිට මුළු ජුදා රාජ වංශය නැති කළා ය.11. එහෙත්, රජුගේ දූ වන ජෙහෝෂබත් මරන්න නියම රාජ පුත්‍රයන් අතරෙන් අහසියාගේ පුත් ජෝවාෂ් හොරෙන් හැරගෙන ගොස්, ඔහු ද ඔහුගේ කිරි මව ද යහන් ගබඩාවෙහි සඟවා තැබුවා ය. මෙසේ ජෙහෝරාම් රජගේ දූ වූ, ජෙහෝයාදා පූජකයාගේ භාර්යාව වූ අහසියාගේ සහෝදරී වූ ජෙහෝෂබත්, අතලියා විසින් නොමරනු ලබන ලෙස ඈ කෙරෙන් ඔහු සැඟෙවුවා ය.12. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඔවුන් සමඟ අවුරුදු හයක් සැඟවී සිටියේ ය. අතලියා දේශයෙහි රජකම් කළා ය.ගීතාවලිය 83:1-81. ආසාප්ගේ ගීතයකි. මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.2. බලනු මැනව, ඔබේ විරුද්ධකරුවෝ කලබල කරන්නෝ ය. ඔබේ සතුරෝ කැරලි ගසන්නෝ ය. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.3. ඔව්හු ඔබේ සෙනඟට විරුද්ධ ව කූට උපා යොදන්නෝ ය. ඔබ රැකවරණය දෙන අයට එරෙහි ව කුමන්ත්‍රණ කරන්නෝ ය.4. ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.5. සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.6. ඔව්හු ඒදොම්ගේ සහ ඉෂ්මායෙල්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය. මෝවබ්ගේ සහ හගරීනයන්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.7. මොවුහු ගෙබාල්ගේත්, අම්මොන්ගේත්, අමලෙක්ගේත් වංශවලට අයිති තැනැත්තෝ ය. තීර්හි වාසීන් සමඟ පිලිස්තියාවේ වැසියෝ ය.8. අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.හිතෝපදේශ 21:1-11. රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.ක්‍රියා 17:16-3416. පාවුලු ඇතන්ස්හි ඔවුන්ගේ පැමිණීම බලා සිටිය දී, ඒ නුවර දේව රූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ සිත කැළඹී ගියේ ය.17. එබැවින් ඔහු ධර්මශාලාවේ දී ජුදෙව්වරුන් හා භක්තිවන්තයන් සමඟ ද, වෙළෙඳාම් පොළේ දී දිනපතා හමු වූවන් සමඟ ද වාද කෙළේ ය.18. එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, “මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. “ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.19. එබැවින් ඔව්හු අරියෝපගයේ රැස්වීමට ඔහු ගෙන ගොස්, “ඔබ උගන්වන මේ අලුත් ධර්මය අපටත් දැනගන්නට පුළුවන් ද?20. මන්ද, සමහර අපූරු කාරණ ඔබ අපේ කන්වල හෙළන්නෙහි ය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක් දැ යි දැනගන්ට කැමැත්තෙමු”යි කී හ.21. සියලු ඇතන්ස් වැසියෝ ද එහි පදිංචි ව සිටි විදේශීහු ද අලුත් මතිමතාන්තර ගැන කතාබහ කරමින් හෝ ඒවාට සවන් දීමෙන් හෝ මිස වෙන අයුරකින් කාලය ගත නොකළහ.22. එවිට පාවුලු, අරියෝපග ශාලාව මැද සිට මෙසේ දෙසී ය: “ඇතන්ස් වැසියෙනි, ඔබ හැම අතින් ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ.23. ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර, ‘නාඳුනන දෙවියන්ට ය’ යන ලේඛනයක් ඇති පූජාසනයක් ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි.24. ලෝකය ද එහි සියල්ල ද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළොවටත් ස්වාමීන් ව සිටින බැවින්, උන් වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක.25. උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.26. උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.27. මෙසේ කෙළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින් ද, හමුවන බලාපොරොත්තුවෙන් යුතුව ද උන් වහන්සේ සොයන පිණිස ය. උන් වහන්සේ අප එකිනෙකාට නුදුරු ව සිටින සේක.28. “මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’29. අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් දේවත්වය වනාහි මිනිස් කලාශිල්පයෙන් හා දක්ෂකමින් හා කැටයම් කළ රනට වත් රිදීයට වත් ගලට වත් සමාන යයි නොසිතිය යුතු ය.30. ඉතින් මේ නොදැනුම් කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවා ගන්නට දැන් අණ කරන සේක.31. මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”32. මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.33. එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක් ව ගියේ ය.34. එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහා ගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනිසියස් ද දමරිස් නම් ස්ත්‍රියක් ද තවත් අය ද වූ හ. Sinhala Bible NRSV Ceylon Bible Society