අවුරුද්දකින් බයිබලය අගෝස්තු 14ජෝබ් 19:1-291. ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:2. “ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද?3. දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය.4. මම ඇත්තට ම වරදක් කෙළෙම් නම්, එහි පල විපාක මට මිස ඔබට නොවේ.5. එහෙත් ඔබ, මහේශාක්‍ය ගතියක් පෙන්වමින් මා වෙත එල්ල කළ නින්දාපහාස යුක්ති සහගත යයි කියන්නහු නම්,6. මම එකක් කියමි: මා වරදට පත් කෙළේ, දෙවිඳුන් බවත්, දැලක් දමා මා වටකර ඇත්තේ, එතුමන් බවත් දැනගන්න.7. මෙන්න, මට දෙන දැඩි පහර ගැන මා මොරගසන නමුත්, උත්තර දෙන කෙනෙක් නැත. පිහිට ඉල්ලා කෑ ගසන නමුත්, යුක්තිය ඉටු කරන කෙනෙක් නැත.8. මා පිටත නොඑන ලෙස එතුමන් මා අවට වැට කොටු බැඳ, පාර අහුරා, මාගේ මාවත අඳුරු පටලයකින් වසා ඇත.9. එතුමන් මාගේ යසඉසුරු පැහැරගෙන මාගේ හිසෙන් කිරුළ පහකර ඇත.10. මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.11. එතුමන් සිය කෝපාග්නිය දල්වා මා සතුරෙකු ලෙස ගණන් ගනු ඇත.12. මට පහර දීමට සිය යුද හමුදා එවා ඇත. ඔවුන් මාගේ කූඩාරම වටලාගෙන ඇත.13. එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත. මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති.14. මාගේ ඥාතීහු අහක් ව ගියහ. මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ.15. අමුත්තෝ හා මාගේ සේවිකාවෝ මා පිට කෙනෙකු ලෙස ගණන් ගනිති. මා ඔවුන්ට විදේශිකයෙකු වී ඇත.16. සේවකයාට මා හඬගැසුවත්, ඔහු මට උත්තර නොදෙයි; ඔහුට ආයාචනා කිරීමට මට සිදු වී ඇත.17. මාගේ බිරිඳට මාගේ හුස්ම පවා දරන්නට බැරි ය; එක කුසේ උපන් අයටත් මම පිළිකුලක් වී සිටිමි.18. බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.19. මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.20. මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.21. මාගේ මිතුරෙනි, අනේ! මට අනුකම්පා කරන්න; මට අනුකම්පා කරන්න. දෙවිඳාණෝ මට පහර දුන් සේක.22. දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද? මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද?23. “අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්!24. යකඩ පන්හිඳකින් ගලේ කොටා, ඊයම් යොදා, සදහට ම තබන්නට ඇත්නම්, කොපමණ හොඳ ද? මට එක දෙයක් සහතික ය:25. එනම්, මාගේ මිදුම්කාරයාණන් ජීවත් ව සිටින බව ද අන්තිමේ දී, මා වෙනුවෙන් කතා කරන බව ද මම දනිමි.26. කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.27. මම ම එතුමාණන් දකිමි; අන්‍යයෙකු නොව මම, මාගේ දෙනෙතින් ම එතුමාණන් දකිමි.28. මේ ගැටළුවේ මුල මා බැවින්, අප ඔහුට පහර දෙන්නේ කෙසේ දැ යි ඔබ කියන්නහු නම්,29. කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”ජෝබ් 20:1-291. ඊට පිළිතුරු වශයෙන් නයමාතීය ශෝපර් මෙසේ කී ය:2. “ඇවිස්සුණු මාගේ චිත්තය ඔබට පිළිතුරු දීමට නොඉවසිල්ලෙන් බලා සිටියි.3. ඔබ ඉදිරිපත් කළ චෝදනා මට අපහාසයකි. එහෙත්, මාගේ බුද්ධිය ඉක්මවා යන ආත්මානුභාවය ඊට පිළිතුරු සපයනු ඇත.4. කාලයාගේ උපත සිදු වූ දා සිට, මිනිසා මිහි පිට පහළ වූ දා පටන්,5. දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?6. ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,7. කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.8. ඔහු සිහිනයක් මෙන් පහ ව ගොස් අතුරුදන් වෙයි; රෑ යාමේ දර්ශනයක් මෙන් පහ ව යයි.9. ඔහු දැක ඇති අය තවත් ඔහු නොදකිති. ඔහුගේ ඉඩමෙහි තවත් ඔහු දක්නට නොලැබේ.10. ඔහුගේ දරුවෝ දිළිඳුන්ගෙන් කරුණාව සොයන්නෝ ය. ඔහු පැහැර ගත් සම්පත් ඔහුගේ අතින් ම ආපසු දෙනු ඇත.11. යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.12. දුෂ්ටකම ඔහුගේ කටට මිහිරි ව දැනෙතත්, ඔහු එය සිය දිව යට සඟවාගනියි.13. ඉවතට යන්න නොදී හෙමිහිට එය රස බැලුවත්, උඩුතල්ලේ තබා ගනිතත්,14. පසු ව ඒ ආහාර සර්ප විෂට හැරී බඩ දැඟලීම ඇති කරයි.15. තමා ගිලගත් ධන සම්පත් ඔහු වමාරන්නේ ය; දෙවිඳාණෝ ඒවා ඔහුගේ උදරයෙන් පිට කරන සේක.16. ඔහු සපුන්ගේ විස උරා බොන්නේ ය; පොළඟාගේ දළයෙන් ඔහු මැරුම් කන්නේ ය.17. ඔහු, ගිතෙල් ගලන ඔයවල් ද කිරි පැණි ගලා යන ගංගා ද නොදකින්නේ ය.18. ඔහු වැර වීරියෙන් ලබාගත් දේ භුක්ති නොවිඳ ඒවා ආපසු දෙන්නේ ය. ඔහු තම වැඩ කටයුතුවලින් ලබා ගත් ප්රතිඵලවල රස නොවිඳින්නේ ය.19. මන්ද, ඔහු දිළිඳුන් තළා පෙළා අත්හැරදැම්මේ ය; අනුන් තැනූ ගේදොර බලහත්කාරයෙන් ගත්තේ ය.20. ඔහුගේ මසුරුකමට සීමාවක් නැති බැවින්, සිය වස්තුවෙන් සෙතක් ඔහු ලබා නොගනියි.21. ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද? ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.22. විපුල සමෘද්ධත්වයෙන් සිටියත් ඔහුට අගහිඟකම් ඇත; දුඃඛිතයන්ට පැමිණෙන හැම දුක ම ඔහු කරාත් පැමිණෙන්නේ ය.23. ඔහු බඩ පුරා කෑම කෑවත්, දෙවිඳාණෝ බලවත් උදහසින් හා සිය කෝපයෙන් ඔහුට දඬුවම් දෙන සේක.24. ඔහු යකඩ අවියෙන් පහර ලැබ, ගැළවෙන්නට වෑයම් කරන විට ලෝකඩ දුන්නෙන් බිම හෙළනු ලබන්නේ ය.25. ඊතලය ඔහුගේ සිරුර පසා කර, එහි දිළිසෙන තුඩ ඔහුගේ පිත්තාශයෙන් පිට කරන්නේ ය. භීතිය ඔහුගේ හදවත විනිවිද යයි.26. ඔහු රැස් කර තිබූ සම්පත් සියල්ල නාස්ති වී යයි. මිනිසා නොදැල්වූ ගින්නක් ඔහු ද ඔහුගේ නිවෙසෙහි වසන අනික් අය ද දවාදමයි.27. අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි; මිහි තලය ඔහු වරදට පත් කරයි.28. ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි; දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.29. දුදනා හට දෙවිඳුන්ගේ නියමය එය වේ. එතුමාණන්ගෙන් ඔහුට නියමිත ප්රතිවිපාකය එය වේ.”ගීතාවලිය 95:6-116. එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.7. එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත! 8. “පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න. 9. එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.10. සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි: ‘ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.11. කවදාවත් ඔව්හු මා දෙන රටට ඇතුළු නොවන්නෝ ය’යි මම උදහසින් කිපී දිවුරුම් දුන්නෙමි.” හිතෝපදේශ 23:4-54. පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.5. වස්තුව දෙස බලන විට ම එය පියාපත් මවාගෙන, රාජාලියෙකු මෙන් අහසට පියාඹා යනු ඇත.රෝම 13:1-141. බලය ලත් රාජ්‍ය පාලකයන්ට සෑම දෙනා ම කීකරු වෙත් වා! දෙවියන් වහන්සේගෙන් ලැබෙන බලය හැර අන් බලයක් නැත. දැනට සිටින රාජ්‍ය පාලකයෝ දෙවියන් වහන්සේ විසින් පත් කරනු ලැබූ අය වෙති.2. එබැවින් පාලක බලයට විරුද්ධ වන අය දේව නියමයට විරුද්ධ වෙති. එසේ විරුද්ධ වන අය තමන්ට ම දඬුවම් පමුණුවාගනිති.3. රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි.4. මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි.5. එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය.6. ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙති.7. එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.8. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති.9. මන්ද, “කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, “නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත.10. ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීම ය.11. මේ සියල්ලෙහි දී, තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වේලාව ය. මන්ද, අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා, අපේ ගැළවීම දැන් ළං වී ඇත.12. රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු.13. අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු.14. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින් මතු පසිඳුරන් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න. Sinhala Bible NRSV Ceylon Bible Society