අවුරුද්දකින් බයිබලය අගෝස්තු 5ජෝබ් 1:1-221. යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි.2. ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.3. සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.4. ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ.5. මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.6. තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.7. “නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.8. එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.9. සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද?10. ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය.11. හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය.12. එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.13. එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය:14. පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, “ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී15. ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.16. ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.17. ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, “කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.18. ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, “ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී,19. කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළෝ ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.20. මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:21. “මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”22. මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.ජෝබ් 2:1-131. නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.2. සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නුඹ දැන් මෙහි පැමිණියේ කොතැන සිට දැ”යි සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, “මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.3. එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසිවෙක් මුළු මහ පොළොවෙහි නැත. නිරපරාදේ ඔහු වනසාලීමට නුඹ මා පෙළඹෙවූ නමුත්, ඔහුගේ දේව භක්තිය කිසි සේත් තව ම අඩු වී නැතැ”යි සාතන්ට වදාළ සේක.4. සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද?5. හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහුගේ ඇටකටු හා මාංසයට පහර දී බලන්න. එවිට ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇතැ”යි කී ය.6. එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.7. සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය.8. ජෝබ් අළු ගොඩේ වාඩි වී ඇඟ කසා ගැනීමට වළං කැබිලිත්තක් ගත්තේ ය.9. එවිට ඔහුගේ භාර්යාව කතා කරමින්, “ඔය දේව භක්තිය පැවැත්තුවා මදි ද? දෙවියන්ට සාප කොට මැරෙණ එක වඩා හොඳ නැද්දැ”යි කීවා ය.10. එහෙත්, ජෝබ් පිළිතුරු දෙමින්, “මෝඩ ගෑණියක වාගේ ඔබ කතා කරයි. අපි දෙවියන් වහන්සේ අතින් සැපත පිළිගනිමු නම්, විපතත් පිළිගත යුතු නොවේ දැ”යි ඇසී ය. මේ සියල්ලේ දී ම ජෝබ් වචන මාත්‍රයකින් වත් පව් කෙළේ නැත.11. ජෝබ්ට මිතුරෝ තුන්දෙනෙක් වූ හ. තේමාන් නුවර එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමා නුවර ශෝපර් ද ජෝබ්ට පැමිණි දරුණු විපත්ති ගැන දැන ගත්හ. ඔහු දැක, ශෝකය ප්‍රකාශ කොට ඔහු සනසනු වස්, සිය ගම්රටවලින් ඔහු වෙත යාමට ඔව්හු නියම කරගත්හ.12. ඔවුන් දුර තියා ජෝබ් දුටු විට ඔවුන්ට ඔහු හඳුනා ගත නොහැකි විය. එහෙත්, ඔහු හඳුනාගත් කෙණෙහි ම ඔව්හු මහ හඬින් හඬන්නට වූ හ. ශෝකයෙන් තමන්ගේ සළු ඉරා ගෙන තම හිස් පිට දූවිලි දමාගත්හ.13. මෙසේ ඔව්හු රෑ සතකුත්, දවල් සතකුත් ඔහු සමඟ බිම වාඩි වී උන්හ. කිසිවෙක් ඔහුට වචන මාත්‍රයකුදු නොකී හ. මන්ද, ඔහුගේ ශෝකය ඉතා බලවත් බව ඔවුන් තේරුම්ගත් බැවිනි.ගීතාවලිය 91:7-137. දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය.8. ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.9. ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය.10. එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය.11. ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක. 12. ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය. 13. ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය. හිතෝපදේශ 22:13-1413. “පිටත සිංහයෙක් සිටියි, වීදියට ගියොත් මා මැරෙනු ඇතැ”යි අලසයා කියයි.14. වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න; සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.රෝම 7:1-251. සහෝදරවරුනි, නීතිය මිනිසෙකු කෙරේ බලපාන්නේ ඔහු ජීවත් ව සිටින තුරු පමණක් බව ඔබ නොදන්නහු ද? (මා කතා කරන්නේ නීතිය දන්නා ඇත්තන්ට ය.)2. විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය.3. ස්වාමි පුරුෂයා ජීවත් ව සිටිය දී ඈ පරපුරුෂ සේවනයෙහි යෙදුණොත් ඇයට කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නී ය යි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඈ විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඈ වෙන කෙනෙකු සමඟ විවාහ වුවත් කාමමිථ්‍යාචාරය නොකරන්නී ය.4. මාගේ සහෝදරවරුනි, ඔබ ද එලෙස ම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ වීමෙන් ව්‍යවස්ථාවෙන් නිදහස ලබා ඇත. ඒ හේතුවෙන් දෙවියන් වහන්සේට වැඩදායක වන පිණිස, ඔබ වෙන කෙනෙකුට, එනම් උත්ථානය ලැබූ තැනැන් වහන්සේට බැඳී සිටින්නහු ය.5. ලෞකික පෙළඹීම් අනුව අප ජීවත් ව සිටිය දී ව්‍යවස්ථාව නිසා ඇවිස්සුණු කාම තෘෂ්ණා අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක විය. එහි ප්‍රතිඵලය මරණය යි.6. එහෙත් දැන්, වරක් අප තරයේ බැඳ තැබූ බැම්මෙන් මිදීම ලබා, අපි නීතියෙන් නිදහස් ව සිටිමු. එබැවින් අපි දැන් පැරණි ලිඛිත නීතිය යටතේ නොව, ආත්මයාණන්ගේ නව ජීවනය තුළ සේවය කරමු.7. එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත.8. එහෙත් පාපය, ආඥාව මඟින් පාප ක්‍රියාවට ඉඩප්රස්ථාවක් සාදාගෙන විවිධාකාර තණ්හා මා තුළ නිපදවී ය. ව්‍යවස්ථාව නොවී නම්, පාපය ක්‍රියා විරහිත මළ දෙයකි.9. නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.10. මම ද මැරුණෙමි. ජීවිතය සඳහා පැන වූ ආඥාව ම මා මරණයට පැමිණ වී ය.11. මන්ද, පාපය, ආඥාව මඟින් ක්‍රියාවට ඉඩප්රස්ථාවක් සලසාගෙන, මා රවටා, ආඥාව උපයෝගී කොටගෙන, මා මැරී ය.12. එසේ වුව ද ව්‍යවස්ථාව ශුද්ධ ය, ආඥාව ද ශුද්ධ ය, සාධාරණ ය, යහපත් ය.13. එසේ නම් යහපත පිණිස පැන වූ ව්‍යවස්ථාව ම මට මරණය පැමිණ වී ද? කොහෙත් ම නැත; මා මරණයට පත් කෙළේ පාපය ය. මෙයින් පාපයේ පාපී ගතිය හෙළි විය. එය, යහපත් දෙයක් උපයෝගී කොටගෙන මා මරණයට පත් කෙළේ ය. මෙසේ ආඥාව මඟින් පාපය වඩාත් පාපිෂ්ඨ විය.14. නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි.15. මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය.16. මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි.17. සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ.18. මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත.19. මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි.20. ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය.21. එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ.22. මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි.23. එහෙත් මාගේ මනසෙහි ඇති ඒ නීතියට විරුද්ධ ව සටන් කරන මාගේ ඉන්ද්රියයන් තුළ වූ පාප නීතියේ වහල්කමට මා හෙළන, වෙන ප්‍රතිපත්තියක් මාගේ ඉන්ද්රියයන් තුළ ඇති බව මට පෙනේ.24. අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද?25. අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තුති වේ වා! කොටින් කියතොත්, මනසින් මා දේව ආඥාව පිළිගනිතත්, මිනිස් ගතිය අනුව මා යටත් ව සිටින්නේ පාප ආඥාවට ය. Sinhala Bible NRSV Ceylon Bible Society