අවුරුද්දකින් බයිබලය
ජනවාරි 19

1. යාකොබ් තමාගේ පියා පොරොත්තුව විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කෙළේය.
2. යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.
3. යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය.
4. ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමන්ගේ පියා ඔහුට ආදරය ඇති බව ඔහුගේ සහෝදරයෝ දැක ඔහු කෙරෙහි වෛරව ඔහු සමඟ සමාදානයෙන් කථාකරන්ට නොහැකිවූවෝය.
5. යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.
6. ඔහුද: මා දුටු මේ ස්වප්නය අසන්න;
7. අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු, බලව, මාගේ ගොයම් මිටිය නැගිට කෙළින් සිටියේය; බලව, ඔබ සැමගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැන්දෝයයි කීය.
8. එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් ඔබ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.
9. ඔහු තව ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුයේ: බලව, මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා එකොළසක්ද මට වැන්දෝයයි කීවේය.
10. ඔහු ඒක තමාගේ පියාටත් සහෝදරයන්ටත් කීවිට ඔහුගේ පියා ඔහුට තරවටුකොට: ඔබ දුටු මේ ස්වප්නය කිමෙක්ද? මමත් ඔබේ මෑණියෝත් සහෝදරයොත් සැබවින්ම ඔබ ඉදිරියෙහි බිමට නැමී වඳින්නෙමුදැයි ඔහුට කීවේය.
11. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යාකළෝය; නුමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබාගත්තේය.
12. ඔහුගේ සහෝදරයෝ තමන් පියාගේ රැළ පෝෂණයකරන පිණිස ෂෙඛෙම්ට ගියෝය.
13. ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: ඔබේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, ඔබ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය.
14. ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: ඔබ ගොස් ඔබේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.
15. බලව, ඔහු කෙතෙහි එහා මෙහා යනවා එක්තරා මනුෂ්‍යයෙක් දැක: කුමක් සොයන්නෙහිදැයි ඔහුගෙන් ඇසීය.
16. ඔහුද: මාගේ සහෝදරයන් සොයමි. ඔවුන් රැළ කවන්නේ කොතනද කියා මට කියන්නැයි කීවේය.
17. ඒ මනුෂ්‍යයා: ඔව්හු මෙතැනින් පිටත්ව ගියෝය. මක්නිසාද දොතාන්ට යමුයයි ඔවුන් කියනවා මට ඇසුණේයයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් සොයා ගියේය, ඔව්හු දොතාන්හිදී ඔහුට සම්බවුණෝය.
18. ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය.
19. ඔව්හු ඔවුනොවුන්ට කථාකොට: අන්න ස්වප්නකාරයා එන්නේය.
20. දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය.
21. රූබෙන් ඒ අසා ඔවුන් අතින් ඔහු මුදා: අපි ඔහුගේ ප්‍රාණය හානි නොකරමුයයි කීය.
22. රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය.
23. යෝසෙප් තමාගේ සහෝදරයන් වෙතට ආකල ඔවුන් යෝසෙප්ගේ සළුව, එනම් ඔහු ඇඳලා තිබුණු අත් ඇති දිග වස්ත්‍රය ගළවාගෙන
24. ඔහු අරන් වළේ දැමුවෝය. ඒ වළ වතුර නැතුව හිස්ව තිබුණේය.
25. ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය.
26. එවිට යූදා තම සහෝදරයන්ට කථාකොට: අපගේ සහෝදරයා මරා ඔහුගේ ලේ සැඟවීමෙන් කවර ප්‍රයෝජනයක්ද?
27. එන්න, අර ඉෂ්මායෙල්වරුන්ට ඔහු විකුණමු, අපගේ අත ඔහු පිට නොපැමිණේවා; කුමක්හෙයින්ද ඔහු අපගේ සහෝදරයාත් අපගේ මාංසයත්යයි කීවේය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟවුණෝය.
28. මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය.
29. රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන
30. තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය.
31. ඔව්හු යෝසෙප්ගේ සළුව ගෙන, එළුවෙකු මරා සළුව ලෙයෙහි ගල්වා,
32. අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය.
33. ඔහු ඒක හැඳින: මේ මාගේ පුත්‍රයාගේ සළුවය; චණ්ඩ මෘගයෙක් ඔහු කාදමා තිබේ; යෝසෙප් ඉරාදමනු ලැබුවාට අනුමාන නැතැයි කීවේය.
34. තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.
35. ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.
36. මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.
1. ඒ කාලයේ යූදා තමාගේ සහෝදරයන් වෙතින් අහක්ව අදුල්ලමියයෙක්වූ හීරානම් මනුෂ්‍යයෙකු වෙතට ගියේය.
2. යූදා එහිදී ෂුවානම්වූ කානානියයෙකුගේ දියණියක් දැක ඈ පාවාගෙන ඈ වෙතට පැමුණුණේය.
3. ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඔහු ඔහුට ඒර් යන නම තැබුවේය.
4. ඈ නැවත ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර ඔහුට ඕනාන් යන නම තැබුවාය.
5. ඈ නැවතත් තව පුත්‍රයෙකු බිහිකර ඔහුට ෂේලා යන නම තැබුවාය. ඈ ඔහු බිහිකරන කල්හි යූදා කෙසිබ්හි සිටියේය.
6. යූදා තමාගේ කුලුඳුලාවූ ඒර්ට තාමාර් නම්වූ භාර්යාවක් ගෙනදුන්නේය.
7. යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් ස්වාමීන්වහන්සේ ඔහු නැසූ සේක.
8. යූදා ඕනාන්ට කථාකොට: ඔබේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් ඔබේ යුතුකම ඉෂ්ටකර ඔබේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.
9. ඕනාන් ඒ වංශය තමාට අයිති නොවන බව දැන තමාගේ සහෝදරයාගේ භාර්යාව වෙතට පැමිණි කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස එය බිම වැගිරෙවුවේය.
10. ඔහු කළ දෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණු බැවින් උන්වහන්සේ ඔහුද නැසූසේක.
11. එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් ඔබේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.
12. කල්යාමෙන් ෂුවාගේ දූවූ, යූදාගේ භාර්යාව මළාය; යූදා සැනසුණායින් පසු තමාගේ මිත්‍රවූ අදුල්ලමියවූ හීරා සමඟ තමන් බැටළුවන්ගේ ලොම් කපන්නන් වෙත තිම්නාවට ගියේය.
13. බලව, ඔබේ මාමා තමාගේ බැටළුවන්ගේ ලොම් කපන පිණිස තිම්නාට යන්නේයයි තාමාර්ට කියනලද්දේය.
14. ෂේලා වැඩිවිය පැමිණ සිටි නුමුත් තමා ඔහුට භාර්යා කොට පාවාදෙනු නොලැබූ බව දුටු බැවින් ඈ තමාගේ කනවැන්දුම් වස්ත්‍ර පහකොට තමාගේ මුහුණු වැස්ම දමා පොරවාගෙන තිම්නාවට යන මාර්ගයෙහි වූ ඒනයිම් නම් දොරටුවේ හිඳගත්තාය.
15. යූදා ඈ දැක, මුහුණ වසාගෙන සිටි බැවින් ඈ වේශ්‍යාවකැයි සිතුවේය.
16. ඈ තමාගේ ලේලී බව ඔහු නොදැන මාර්ගයෙහිදී හැරී ඈ ළඟට ගොස්: එන්න, ඔබ වෙත පැමිණෙන්ට මට ඉඩ අරින්නැයි කීවේය. ඈද: ඔබ මා කරා පැමිණෙන පිණිස මට කුමක් දෙන්නෙහිදැයි ඇසුවාය.
17. රැළෙන් එළු පැටවෙකු ඔබට එවන්නෙමියි ඔහු කීය. ඈ ඔබ ඌ එවනතුරු උකසක් මට දෙන්නෙහිදැයි ඇසුවාය.
18. කුමන උකසක් දෙම්දැයි ඔහු ඇසීය. ඔබේ මුද්‍රාවත් ඔබේ මාලයත් ඔබේ අතේ තිබෙන සැරයටියත්යයි ඈ කීවාය. ඔහු ඒවා ඈට දී ඈ කරා පැමිණියේය. ඈ ඔහු කරණකොටගෙන ගර්භිණීවූවාය.
19. ඈ නැගිට පිටත්ව ගොස් මුහුණු වැස්ම අහක තබා ඇගේ කනවැන්දුම් වස්ත්‍ර හැඳගත්තාය.
20. යූදා ඒ ස්ත්‍රිය අතින් තමාගේ උකස ගන්න පිණිස අදුල්ලමියවූ තමාගේ මිත්‍රයා අත එළුපැටවා යැවීය.
21. එහෙත් ඈ ඔහුට සම්බවුණේ නැත. එවිට ඔහු ඈ සිටි ස්ථානයෙහි මනුෂ්‍යයන්ගෙන්: මාවත ළඟ ඒනයිම්හී සිටියාවූ වේශ්‍යාව කොතනදැයි ඇසුවේය. මෙහි වේශ්‍යාවක් සිටියේ නැතැයි ඔව්හු කීවෝය.
22. එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය.
23. එවිට යූදා: අපට නින්දා නොපැමිණෙන පිණිස ඈ ඒක ගත්තාවේ. මම මේ එළු පැටවා යැවීමි, එහෙත් ඔබට ඈ සම්බවුණේ නැතැයි කීවේය.
24. තුන් මසක් පමණ ඉකුත්වූ පසු: ඔබේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
25. ඈ පිටතට ගෙනෙනු ලැබූ කල්හි ඈ කථාකොට: මේ දේ අයිති මනුෂ්‍යයා කරණකොටගෙන මම ගර්භිණීව සිටිමි. මේ මුද්‍රාවද මාලයද සැරයටියද කාගේදැයි විමසා බලන ලෙස ඔබෙන් ඉල්ලමියි ඇගේ මාමණ්ඩියට කියා ඇරියාය.
26. යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.
27. තවද ඈ බිහිකරන කාලය පැමිණි කල්හි, බලව, නිඹුල් දරු දෙදෙනෙක් ඇගේ කුසෙහි වූවෝය.
28. ඈ බිහිකරන කල එකෙක් අතක් පිට කෙළේය. වින්නඹුව වනාහි: මොහු පළමුකොට නික්ම ආයේය කියා රතු නූලක් ඔහුගේ අතෙහි බැන්දාය.
29. ඔහු තමාගේ අත ඇදගත් කල්හි ඔහුගේ සහෝදරයා බිහිවිය. ඈද: ඔබ බිඳුමක් කර ගත්තේ මක්නිසාදැයි කීවාය. එබැවින් පෙරෙශ් යන නම ඔහුට තබනලද්දේය.
30. පසුව අතේ රතු නූල ඇති ඔහුගේ සහෝදරයා බිහිවිය. ඔහුට සෙරා යන නම තබනලද්දේය.
11. සියොන්හි වාසයකරන ස්වාමීන් ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
12. මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.
13. මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද,
14. ස්වාමිනි, මට කරුණාකළ මැනව; මරණ ද්වාරවලින් මා ඔසවන්නාවූ ඔබ, මට ද්වේෂකරන්නන්ගෙන් මා විඳින පීඩා බැලුව මැනව.
15. ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.
16. ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.
17. දුෂ්ටයෝ, එසේය, දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලු ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය.
18. මක්නිසාද දුප්පතා නිතරම මතකනැති නොවන්නේය, දිළිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය.
19. ස්වාමිනි, නැගුටුණ මැනව; මනුෂ්‍යයා ජය නොගනීවා. ජාතීහු ඔබ ඉදිරියේ විනිශ්චයකරනු ලබත්වා.
20. ස්වාමිනි, ඔවුන්ට භය පැමිණෙවුව මැනව, ජාතීහු තමුන් මනුෂ්‍යයන් පමණක් බව දැනගනිත්වා.
31. බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.
32. මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
33. ස්වාමීන්වහන්සේ ගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
34. නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක.
35. ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.
1. ඒ දවසෙහි යේසුස්වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිඳගත්සේක.
2. බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක; මුළු සමූහයා වෙරළෙහි සිටියෝය.
3. උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක්: බලව, වපුරන්නා වපුරන්ට ගියේය;
4. ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය.
5. සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටී, පස් ඝනව නොතිබුණු බැවින් ඒවා වහාම පැළවිය.
6. නුමුත් ඉර උදාවූ කල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය.
7. අන් සමහරක් කටු අතරෙහි වැටුණේය; කටු ගස් වැවී ඒවා යටකර දැම්මේය.
8. තවත් සමහරක් සරු බිමෙහි වැටී, එකෙන් සියයක්ද එකෙන් සැටක්ද එකෙන් තිහක්ද බැගින් ඵල දුන්නේය.
9. ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
10. එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය.
11. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම ඔබ සැමට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.
12. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය.
13. එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි.
14. තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්: ඇසීමෙන් ඔබ සැම අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; බලමින්ම සිටින නුමුත් ඔබ සැම කිසිසේත් නොපැහැදෙන්නහුය.
15. මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.
16. නුමුත් පෙනෙන නිසා ඔබ සැමගේ ඇස්ද ඇසෙන නිසා ඔබ සැමගේ කන්ද වාසනාවන්තය.
17. මක්නිසාද සැබවක් ඔබ සැමට කියමි: බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද ඔබ සැම දකින දේ දකින්ටත් ඔබ සැම අසන දේ අසන්ටත් ආශාවූ නුමුත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත.
18. එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න.
19. යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය.
20. ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය;
21. එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය.
22. කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය.
23. සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.
24. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ.
25. මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳිි වපුරා ගියේය.
26. කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිිත් පෙනුණේය.
27. එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳිි කොයින් දැයි ඔහුට කීවෝය.
28. සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය.
29. එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරන්න; ඔබ සැම කිරිඳිි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන.
30. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී-පළමුකොට කිරිඳිි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.
Sinhala Bible SROV
Ceylon Bible Society