අවුරුද්දකින් බයිබලය ඔක්තෝම්බර් 10ජෙරමියා 5:1-311. යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. ඔබ සැමට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.2. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.3. ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් විශ්වාසකම දෙස යොමා තිබෙනවා නොවේද? ඔබ ඔවුන්ට පහරදුන්සේක, නුමුත් ඔවුන්ට රිදුණේ නැත; ඔබ ඔවුන් නාස්තිකළසේක, නුමුත් ඔව්හු හික්මවීම පිළිනොගෙනම සිටියෝය. ඔව්හු තමුන්ගේ මුහුණ පර්වතයකට වඩා දැඩිකරගෙන, හැරීඑන්ට අකමැතිවූවෝය.4. එවිට මම කථාකොට: සැබවින් මොව්හු දිළින්දෝය. මොව්හු ස්වාමීන්වහන්සේ ගේ මාර්ගයද තමුන්ගේ දෙවියන්වහන්සේගේ විනිශ්චයද නොදන්න බැවින් මෝඩලෙස හැසිරෙති.5. මම උත්තමයන් ළඟට ගොස් ඔවුන්ට කථාකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ මාර්ගයත් තමුන්ගේ දෙවියන්වහන්සේගේ විනිශ්චයත් දනිතියි කීමි. නුමුත් මොව්හු එක්ව වියගහ බිඳ, බැඳුම් කඩා දැමුවෝය.6. එබැවින් කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේය, සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්තිකරන්නේය, දිවියෙක් ඔවුන්ගේ නුවරවල් ළඟ රැක ඉන්නේය, ඒවායින් පිටතට යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝය. මක්නිසාද ඔවුන්ගේ වරද බොහෝවී ඔවුන්ගේ පසුබටවීම් වැඩිවී තිබේ.7. මා ඔබට කමාවෙන්නේ කොහොමද? ඔබේ දරුවෝ මා අත්හැර දෙවිවරු නොවන්නවුන් ගැන දිවුළෝය. මා විසින් කවා ඔවුන් තෘප්තියට පැමිණෙවුවාට පසුත් ඔව්හු කාමමිථ්‍යාචාරය කළෝය, ඔව්හු රංචුගැසී වේශ්‍යාවන්ගේ ගෙවලට ඇතුල්වුණෝය.8. ඔව්හු හොඳට පෝෂ්‍යවී ඉන්න අශ්වයන් මෙන් අලුයම නැගිට, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ භාර්යාවට හේෂාරවය කළෝය.9. මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.10. ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේ ට අයිති නැත.11. මක්නිසාද ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය මට විරුද්ධව බොහෝසෙයින් ද්‍රෝහිකම්කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.12. ඔව්හු ස්වාමීන්වහන්සේ ගැන බොරු කියා: ඒ උන්වහන්සේ නොවේ; විපත්තිය අප පිටට නොපැමිණෙයි; කඩුවවත් සාගතයවත් දකින්ට අපට සිද්ධවෙන්නේ නැත.13. අනාගතවක්තෘවරු හුළඟ වන්නෝය, දේව වචනය ඔවුන් තුළ නැත. ඔවුන්ට මෙසේ කරනු ලැබේයයි කීවෝය.14. එබැවින් ඔබ සැම ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔබේ මුඛයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනඟ දරද කරන්නෙමි, එයින් ඔවුන් දාලා යනවා ඇත.15. මෙන්න, ඉශ්රායෙල් වංශය, මම ඔබ සැමට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් ඔබ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.16. ඔවුන්ගේ ඊ කොපුව වනාහි ඇරී තිබෙන මිනීවළක් මෙන්ය, ඔවුන් සියල්ලෝම බලවන්තයෝය.17. ඔවුන් ඔබේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ ඔබේ අස්වැන්නද ඔබේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් ඔබේ බැටළුවන්ද ඔබේ ගවයන්ද කා දමනවා ඇත; ඔබේ මිදිවැල්ද ඔබේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; ඔබ විශ්වාසකරන ඔබේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.18. එසේ වී නුමුත් ඒ දවස්වලදීත් තීන්දුවටම ඔබ සැම නැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.19. තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි ඔබ සැම අසන කල-ඔබ සැම මා අත්හැර ඔබ සැමගේ ම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම ඔබ සැමට අයිති නැති දේශයකදී ඔබ සැම අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.20. මේක යාකොබ්ගේ වංශය අතරෙහි දන්වමින්ද, යූදාහි ප්‍රකාශකරමින්ද, කියන්න:21. මෝඩවූ තේරුම් නැත්තාවූ, ඇස් තිබෙන නුමුත් නොදකින්නාවූ, කන් තිබෙන නුමුත් නෑසෙන්නාවූ ජනයෙනි, මේක අසන්න:22. මට ඔබ සැම භයවන්නේ නැද්ද? මා ඉදිරියෙහි වෙවුලන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම වනාහි සදාකාල නියෝගයක් කොට මුහුදේ මායිම් පිණිස වැලි තැබුවාවූ තැනන්වහන්සේය, ඒකද එය පසුකර නොඑන්නේය. එහි රැළ ගසන නුමුත් එය ඉක්මවා යන්ට පුළුවන්වෙන්නේ නැත; ඒවා ඝෝෂාකරන නුමුත් එය පසුකර යන්ට නොහැකිය.23. නුමුත් මේ සෙනඟට මුරණ්ඩු කැරළිකාර සිතක් තිබේ; ඔව්හු අහක්වී ගියෝය.24. වර්ෂාව එනම් පළමුවෙනි වර්ෂාවද අන්තිම වර්ෂාවද නිසි කාලයට දෙන්නාවූ, ගොයම් කැපීමට නියම සති අපට සලස්වා දෙන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතිව සිටිමුයයි ඔව්හු තමුන්ගේ සිත් තුළ නොකියති.25. ඔබ සැමගේ අපරාධ නිසා ඒවා පහවුණේය, ඔබ සැමගේ පාප නිසා ශුභසිද්ධියද ඔබ සැමට නොලැබී ගියේය.26. මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.27. පක්ෂීන්ගෙන් පිරී තිබෙන කූඩුවක් මෙන් ඔවුන්ගේ ගෙවල් රැවටිල්ලෙන් පිරී තිබේ. ඒ නිසා ඔව්හු මහත්වී සිටිති, පොහොසත්වී සිටිති.28. ඔව්හු තරවී දිලිහෙති. එසේය, ඔව්හු අධික ලෙස දුෂ්ටකම් කරති. සඵලවන පිණිස යුක්තිය එනම් පියා නැත්තාගේ කාරණය ඔව්හු නොඅසති; දිළිඳුන්ගේ යුක්තියත් විනිශ්චය නොකරති.29. මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.30. පුදුමවූ භයංකාරවූ දෙයක් දේශයේ සිදුවී තිබේ;31. අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී ඔබ සැම කරන්නේ කුමක්ද?ජෙරමියා 6:1-301. බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.2. ශෝභනවූ සිව්මැළිවූ තැනැත්තී වන සියොන් දුව සිඳදමන්නෙමි.3. එඬේරු ඔවුන්ගේ රැළවල් ඇතුව ඈ ළඟට එන්නෝය; ඔව්හු ඈට විරුද්ධව වටකර තමුන්ගේ කූඩාරම් පිහිටුවා, තම තමුන් සිටින තැන්වලදී උන් කවන්නෝය.4. තවද ඔවුන් කථාකොට: ඈට විරුද්ධව යුද්ධය පිළියෙළ කරන්න; නැගිටින්න, අපි ඉරමුදුන් වේලාවේදීම නැගීයමුව. අනේ අපට දුක්වේ! මක්නිසාද දවාල පහවන්නේය, සවස් සෙවණැලි දික්වන්නේය.5. නැගිටින්න, අපි රාත්‍රියෙහි ගොස් ඇගේ මාළිගා විනාශකරමුයයි කියනවා ඇත.6. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ගස් කපා, යෙරුසලමට විරුද්ධව ගොඩැල්ලක් නගන්න. දඬුවම් ලැබිය යුතු නුවර මේකය; එහි තුළ තිබෙන්නේ බලාත්කාරකමමය.7. ළිඳකින් වතුර උනන්නාක්මෙන් ඒකේ නපුරුකම උනාඑන්නේය. බලාත්කාරයත් පීඩාවත් එහි ඇසෙන්නේය; වේදනාවද පහරදීමද නිතරම මා ඉදිරියෙහි ඇත්තේය.8. එම්බා යෙරුසලම, මාගේ ආත්මය ඔබෙන් වෙන්වී නොයන පිණිසත් මා විසින් ඔබ පාළුවක්ද වැසියන් නැති දේශයක්ද නොකරන පිණිසත් දැනමිතිකම් ලබන්න.9. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉතුරු මිදිඵල දෙවනුව නෙළාගන්නාක්මෙන් ඉශ්රායෙල්වරුන්ගෙන් ඉතුරුවෙන අයට කරනු ලබන්නේය. මිදිඵල නෙලාගන්න කෙනෙකු මෙන් ඔබේ අත නැවත නැවත රිකිලිවලට පොවන්න.10. අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න, ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති.11. ඒ නිසා මම ස්වාමීන්වහන්සේ ගේ කෝපයෙන් පිරී සිටිමි; එය දැරීමෙන් වෙහෙසවී සිටිමි. වීථියේ ඉන්න ළමයින් පිටත් යෞවනයන්ගේ සභාව පිටත් එය එකවිට වගුරුවන්න. මක්නිසාද පුරුෂයා භාර්යාව සමඟද වැඩිමහල්ලා වයසින් පූර්ණවූ තැනැත්තා සමඟද අසුවන්නේය.12. ඔවුන්ගේ ගෙවල්ද කෙත්ද භාර්යාවෝද එකට අන්‍යයන්ට අයිතිවන්නෝය. එසේය, දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.13. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති.14. සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.15. ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.16. ඔබ සැම මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට ඔබ සැමගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.17. මමද ඔවුන් කෙරෙහි රැකවලුන් පත්කොට: හොරණෑ ශබ්දයට ඇහුම්කන්දෙන්නැයි කීවෙමි; නුමුත් ඔව්හු: අපි ඇහුම්කන් නොදෙන්නෙමුයයි කීවෝය.18. එබැවින් ජාතීනි, අසන්න, එම්බා සමූහයෙනි, ඔවුන් අතරේ සිද්ධවෙන දේ දැනගන්න.19. එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.20. ෂෙබායෙන් කට්ටකුමංචල්ද දුර දේශයකින් මිහිරි සුවඳ දඬුද මට ගෙනෙන්නේ කුමටද? ඔබ සැමගේ දවන පූජා මට ප්‍රසන්න නැත, ඔබ සැමගේ යාගද මට ප්‍රිය නැත.21. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මේ සෙනඟ ඉදිරියෙහි පැකිලවන දේවල් තබමි. පියවරු සහ පුත්‍රයෝද අසල්වාසියා සහ ඔහුගේ මිත්‍රයාද එක්ව ඒවායේ පැකිල විනාශවන්නෝය.22. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහත් ජාතියක්ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැගිටිනවා ඇත.23. ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲරය, කරුණාවක් නැත්තෝය; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි; එම්බා සියොන් දුව, ඔබට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් සියලුදෙනා එක්කෙනෙකු මෙන් පේළිගැසී අශ්වයන් පිට නැගී එති.24. ඒ ප්‍රවෘත්තිය අප විසින් අසා තිබේ; අපේ අත් දුර්වලවී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද අපට අල්ලා තිබේ.25. කෙතට නොයන්න, මාර්ගයෙහි නොයන්න; මක්නිසාද සතුරාගේ කඩුවද හැම අතින්ම භීතියද තිබේ.26. මාගේ දියණිය වන සෙනඟෙනි, ගෝණිරෙදි බැඳගෙන අළුවල පෙරළී ඉඳ, එකම පුත්‍රයෙකු උදෙසා මෙන් ඉතා දුක් සහිත විලාපයකින් වැලපෙන්න; මක්නිසාද විනාශකරන්නා හදිසියෙන් අපට විරුද්ධව එනවා ඇත.27. ඔබ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම ඔබ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි.28. ඔවුන් සියල්ලෝම මුරණ්ඩුවූ කැරළිකාරයෝව, කේලාම් කියා ඇවිදින්නෝව, පිත්තල හා යකඩ වැනිව සිටිති. සියල්ලෝම දූෂ්‍යකම් කරන්නෝය.29. මයිනහම සැරෙන් පිඹිනු ලැබේ; ඊයම්ද ගින්නෙන් දා ගියේය. ඔවුන්ගේ උණුකිරීම නිෂ්ඵලය; මක්නිසාද දුෂ්ටයෝ වෙන්කරනු නොලද්දෝය.30. ස්වාමීන්වහන්සේ ඔවුන් එපාකළ නිසා: වටේට රිදීයයි මනුෂ්‍යයෝ ඔවුන්ට නම් තබන්නෝය.ගීතාවලිය 117:1-21. සියලු ජාතීනි, ස්වාමීන් ට ප්‍රශංසාකරව්; සියලු මනුෂ්යවර්ගයෙනි, උන්වහන්සේ වර්ණනාකරව්.2. මක්නිසාද අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව මහත්ය; ස්වාමීන් ගේ සැබෑකම සදාකාලයට පවත්නේය. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.හිතෝපදේශ 27:3-43. ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.4. උදහස කෲරය, කෝපයද රෞද්‍රය; එහෙත් කාම ක්‍රෝධය ඉදිරිපිට සිටින්ට පුළුවන් කාටද?කොලොස්සි 1:1-291. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක් වන පාවුල්ද සහෝදරයා වන තිමෝතියස්ද විසින්,2. ක්‍රිස්තුස්වහන්සේ තුළ කොලොස්සේ සිටින ශුද්ධවන්තයන්වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.3. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඔබ සැමගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා ඔබ සැමගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි ඔබ සැමටත් තබා තිබෙන්නාවූ බලාපොරොත්තුව නිසා,4. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට අපි ස්තුතිකර, නිතරම ඔබ සැම ගැන යාච්ඤාකරමුව.5. ඒ බලාපොරොත්තුව ගැන ශුභාරංචියේ සැබෑවේ වචනයෙන් ඔබ සැම පළමු ඇසුවහුය.6. ඒ ශුභාරංචිය මුළු ලෝකයට මෙන් ඔබ සැම වෙතටත් පැමිණී තිබේ; ඔබ සැම එය අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත් දා පටන් ඒ ඔබ සැම අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනයවන්නේය.7. එසේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ ප්‍රේමවන්ත හවුල් වැඩකාරවූ එපප්‍රස්ගෙන් ඔබ සැම ඉගෙනගත්තහුය.8. ඔහු ආත්මයාණන්වහන්සේ තුළ තිබෙන ඔබ සැමගේ ප්‍රේමයත් අපට දැන්නුවේය.9. එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් ඔබ සැම උදෙසා නොකඩවම යාච්ඤාකරමින්, ඔබ සැම සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී,10. සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද,11. ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,12. ආලෝකයේ සිටින ශුද්ධවන්තයන්ගේ උරුමයෙන් කොටසකට අප සුදුස්සන් කළාවූ පියාණන්වහන්සේට ස්තුතිකරමින්ද, ඔබ සැම ස්වාමීන්වහන්සේට ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව.13. පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.14. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.15. උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය;16. මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;17. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක, සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය.18. උන්වහන්සේ සභාව නැමති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය.19. මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා,20. උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.21. පසුගිය කාලයේදී අන්‍යයන්ව, ඔබ සැමගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ ඔබ සැම,22. ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.23. ඔබ සැම ශුභාරංචියේ බලාපොරොත්තුවෙන් අහක් නොවී, ඇදහිල්ලේ පිහිට ස්ථිරව සිටින්නහු නම්, එසේ වන්නේය. ඒ ශුභාරචිය ඔබ සැම ඇසුවහුය. එය අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය. පාවුල් නම් මම ඒකේ සේවකයෙක් කරනු ලැබීමි.24. දැන් මම ඔබ සැම උදෙසා විඳින දුක් ගැන ප්‍රීතිව, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා, උන්වහන්සේගේ දුක්වලින් අඩුව තිබෙන ඒවා මාගේ මාංසයෙන් සම්පූර්ණකරමි.25. පූර්ව කාලවලද පරම්පරාවලද පටන් සැඟවී තිබී, දැන් දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ට ප්රකාශවුණාවූ රහස වන,26. දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට, ඔබ සැම උදෙසා මට දෙනලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට, සභාවේ සේවකයෙක් කරනු ලැබීමි.27. අන්‍යජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමෙක්ද කියා දෙවියන්වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්ට කැමතිවූසේක; ඒ වනාහි තේජසේ බලාපොරොත්තුව වන ඔබ සැම තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය.28. අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.29. ඒ ඇර, මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි. Sinhala Bible SROV Ceylon Bible Society