අවුරුද්දකින් බයිබලය නොවැම්බර් 3විලාප ගී 1:1-221. සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි! ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි! ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි! 2. ඈ රාත්‍රියෙහි අතිශයින් හඬයි, ඇගේ කඳුළු ඇගේ කම්මුල් පිට තිබේ; ඇගේ සියලු ප්‍රේමවතුන්ගෙන් ඈ සනසන්ට කිසිවෙක් නැත. ඇගේ සියලු මිත්‍රයෝ ඈට ද්‍රෝහිකම් කළෝය, ඔව්හු ඈට සතුරෝ වී සිටිති. 3. පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය. 4. මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ; ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි. 5. ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති; මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක. ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය. 6. සියොන් දියණියගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහව ගියේය. ඇගේ අධිපතීහු කෑම නොලැබූ මුවන්ට සමානවුණෝය, එළවාගෙන එන්නා ඉදිරියෙහි ඔව්හු බෙලහීනව ගියෝය. 7. යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි. ඈට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනඟ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඈ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය. 8. යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය. ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති. එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි. 9. ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය; ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය; එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය; ඈට සැනසිලිකාරයෙක් නැත. ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව, මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය. 10. එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය. මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය. 11. ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති; පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය. ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව. 12. මග යන සියල්ලෙනි, ඔබ සැම මෙය නොසලකන්නහුද? මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න. 13. උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි. උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක; මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක. 14. මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය; ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ; එයින් මාගේ ශක්තිය හීනවිය. මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක. 15. මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක; මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක. ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක. 16. මේ දේවල් නිසා අඬමි; මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය; මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි. සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති. 17. සියොන් ඇගේ අත් විදහාගන ඉඳයි; ඈ සනසන්ට කෙනෙක් නැත; යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේ අණකර තිබේ. යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ. 18. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය; මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසීමි. අනේ සියලු ජනයෙනි, අසා මාගේ ශෝකය බලන්න. මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය. 19. මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රුවටුවෝය. මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය. 20. ස්වාමීන්වහන්ස, බැලුව මැනව; මක්නිසාද විපතට පත්ව සිටිමි; මාගේ බඩවැල් කැලඹී තිබේ; මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ; මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසීමි. පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය. 21. මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය. 22. ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේවා; මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක්මෙන් ඔවුන්ටත් කළ මැනව. මක්නිසාද මාගේ සුසුම්ලෑම් බොහෝය, මාගේ සිතද ක්ලාන්තව තිබේ. විලාප ගී 2:1-221. ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක. 2. ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක. 3. උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක. 4. උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක. 5. ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක. 6. උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක. 7. ස්වාමීන්වහන්සේ තමන් පූජාසනය අහකදැමූසේක, තමන් ශුද්ධස්ථානය පිළිකුල්කළසේක, ඇගේ මාළිගාවල පවුරු සතුරා අතට පාවාදුන්සේක. මංගල්‍ය දවසකදී මෙන් ඔව්හු ස්වාමීන්වහන්සේ ගෘහයෙහි ශබ්ද පැවැත්තුවෝය. 8. ස්වාමීන්වහන්සේ සියොන් දුවගේ පවුර නාස්තිකරන්ට අදහස්කළසේක; ලනුව ඇද නටබුන්කිරීමෙන් තමන් අත අහක්කර නොගත්සේක. උන්වහන්සේ කොටු-තාප්පය සහ පවුර වැලපෙන්ට සැලැස්වූසේක; ඒවා එක්ව මලානිකවෙති. 9. ඇගේ දොරටු පොළොවට ගිලුණේය; උන්වහන්සේ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූසේක. ඇගේ රජද අධිපතීහුද ජාතීන් අතරේ සිටිති; ව්‍යවස්ථාවක් නැත. එසේය, ඇගේ ප්‍රොපේතවරු ස්වාමීන්වහන්සේ ගෙන් දර්ශනයක් නොලබති. 10. සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති. 11. මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති. 12. නුවර වීථිවල තුවාලවූවන් මෙන් ඔව්හු ක්ලාන්තවෙමින්, තමුන්ගේ ප්‍රාණ තමුන්ගේ මවුවරුන්ගේ ළයෙහි වගුරුවන කල්හි, ධාන්‍ය සහ මුද්‍රිකපානයත් කොයිදැයි තමුන්ගේ මවුවරුන්ට කියති. 13. යෙරුසලමේ දියණියෙනි, මම ඔබට මොන දැනමුතුකමක් දෙම්ද? ඔබට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් ඔබ සනසන පිණිස ඔබට කුමක් සමකරම්ද? මක්නිසාද ඔබේ බිඳුම මුහුද මෙන් මහත්ය. ඔබට සුවකරන්ට කාට පුළුවන්ද? 14. ඔබේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන ඔබට දැන්නුවෝය; ඔව්හු ඔබේ වහල්කම පහකිරීමට ඔබේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද ඔබට දැන්නුවෝය. 15. මග යන සියල්ලෝ ඔබට විරුද්ධව අත්පුඩිගසති; ඔව්හු පරිහාසකොට, යෙරුසලම් දුවට විරුද්ධව තමුන්ගේ හිස්වනමින්: පරම අලංකාරකමය, මුළු පොළොවට ප්‍රීති හේතුවයයි කී නුවර මේකදැයි කියති. 16. ඔබේ සියලු සතුරෝ ඔබට විරුද්ධව තමුන්ගේ මුඛය විදහා, පරිහාසකොට, දත්මිටිකති; අපි ඈ නටබුන්කෙළෙමුව, සැබවින්ම අප බලා සිටි දවස මේය; අපි ඊට පැමිණ දුටිමුයයි කියති. 17. ස්වාමීන්වහන්සේ තමන් යෝජනා කළ දේ ඉෂ්ටකළසේක; උන්වහන්සේ පුරාණ දවස්වල සිට නියමකර තිබුණු තමන් කීම සම්පූර්ණකළසේක; උන්වහන්සේ අනුකම්පා නොකොට, හෙළාදැමූසේක. සතුරා ඔබට විරුද්ධව සන්තෝෂවෙන්ට සලස්වා, ඔබේ එදිරිකාරයන්ගේ අඟ එසෙවුසේක. 18. ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේ ට කෑගැසීය. අහෝ සියොන් දුවගේ පවුර, රෑ දාවල් ගඟක් මෙන් කඳුළු වගුරුවන්න; නිස්කලංක නොගන්න; ඔබේ ඇසේ කළුඉංගිරියාව නොනවතීවා. 19. නැගිට, රාත්‍රී යාමවල මුලදී ඝෝෂා කොට, ඔබේ සිත ස්වාමීන්වහන්සේ ගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ ඔබේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා ඔබේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න. 20. ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබන්නෝද? 21. බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක. 22. මංගල්‍ය රැස්වීමකදී මෙන් භීති මා වටකරින්ම එන ලෙස ඔබ අඬගැසූසේක; කිසිවෙක් ස්වාමීන්වහන්සේ ගේ උදහස් දවසේදී ගැළවී ඉතුරු නොවීය. මා විසින් වඩා ඇතිකළවුන් මාගේ සතුරා නාස්තිකෙළේය. ගීතාවලිය 119:137-144137. ස්වාමිනි, ඔබ ධර්මිෂ්ඨය, ඔබගේ විනිශ්චයෝ සෘජුය. 138. ඔබ ධර්මිෂ්ඨකමින්ද මහත් විශ්වාසකමින්ද ඔබගේ ශික්ෂා නියමකළසේක. 139. මාගේ එදිරිකාරයන් ඔබගේ වචන සිහි නැතිකළ නිසා මාගේ ජ්වලිතය මා සිඳදැම්මේය. 140. ඔබගේ වචනය ඉතා පිරිසිදුය; එබැවින් ඔබගේ මෙහෙකරුවා ඊට ප්‍රේමකරයි. 141. මම සුළු කෙනෙක්මි, නින්දා ලද්දෙක්මි. එහෙත් ඔබගේ නියෝග සිහිනැති නොකරමි. 142. ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය, ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය. 143. විපත හා සිත් වේදනාව මා කරා පැමිණ තිබේ. එහෙත් ඔබගේ ආඥා මාගේ ප්‍රීතියය. 144. ඔබගේ ශික්ෂා සදාකාලේටම ධර්මිෂ්ඨය. මා ජීවත්වන පිණිස මට නුවණ දුන මැනව. හිතෝපදේශ 28:9-109. ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය. 10. නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ. තීතස් 3:1-151. අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත් වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද,2. කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවන්න.3. මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.4. නුමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්රකාශවූ කල,5. අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත්කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.6. එසේය, උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස,7. උන්වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මය අධිකලෙස අප පිට වැගිරෙවූසේක.8. මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස ඔබ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්රයෝජනවත්වූ දේවල්ය.9. නුමුත් මෝඩ වාද, පෙළපත් කථා, විවාද, ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක්වෙන්න; මක්නිසාද ඒවා නිෂ්ඵලය, නිරර්ථකය.10. භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් ඔබ දන්න බැවින්.11. පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් පසු ඔහු එපාකරන්න.12. මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ ඔබ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.13. නීතිඥයෙක්වූ සේනස්ටත් අපොල්ලොස්ටත් කිසි අඩු පාඩුවක් නොවන පිණිස ඔවුන්ගේ ගමනට කඩිසරලෙස උපකාරකරන්න.14. තවද අපේ අයවලුත් ඵල නැතුව නොසිටින පිණිස වුවමනාකරන දේවල් සඳහා යහපත් වැඩවල යෙදී සිටින්ට ඉගෙනගනිත්වා.15. මා සමඟ සිටින සියල්ලෝම ඔබට ආචාරකරති. ඇදහිල්ලෙහි අපට ප්‍රේමකරන්නන්ට ආචාරකරන්න. අනුග්‍රහය ඔබ සැම සියල්ලන් සමඟ වේවා. Sinhala Bible SROV Ceylon Bible Society