අවුරුද්දකින් බයිබලය
නොවැම්බර් 7

1. තවද මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න, එය පනික්කියන්ගේ දැළිපිහියක් මෙන් හැරගෙන, ඔබේ හිසද ඔබේ රැවුලද එයින් බූගා, කිරන තරාදියක් රැගෙන ඒ කේශ බෙදන්න.
2. ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.
3. එයින් ගණනින් ස්වල්පයක් රැගෙන ඒවා ඔබේ රෙදි කොන්වල බැඳගන්න.
4. නැවත එයින් ස්වල්පයක් රැගෙන ඒවා ගින්න මැදට හෙළා, ඒවා ගින්නෙන් දවන්න; එයින් මුළු ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව ගින්නක් නික්මෙන්නේය.
5. ස්වාමීවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක. මේක යෙරුසලමය; ඈ ජාතීන් මැද පිහිටෙවුවෙමි, ඈ අවටින් රටවල් තිබේ.
6. ඈ දුෂ්ටකම්කොට, ජාතීන්ට වඩා මාගේ විනිශ්චයන්ටත් ඈ වටකර තිබෙන රටවලට වඩා මාගේ පනත්වලටත් විරුද්ධව කැරළිගැසුවාය. මක්නිසාද ඔව්හු මාගේ විනිශ්චයන් එපාකළෝය, මාගේ පනත් ප්‍රකාරයට නොහැසුරුණෝය.
7. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම අවට සිටින ජාතීන්ට වඩා ඔබ සැම කෝලාහලකර, මාගේ පනත් ප්‍රකාරයට නොහැසිර, මාගේ විනිශ්චයන් රක්ෂා නොකර, ඔබ සැම අවට සිටින ජාතීන්ගේ විනිශ්චයන් ලෙසවත් නොකර හැරිය බැවින්,
8. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම, මමම පවා, ඔබට විරුද්ධව ජාතීන්ගේ ඇස් හමුයෙහි ඔබ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි.
9. මා කළේවත් නැවත කරන්නේවත් නැති ආකාර දේවල් ඔබේ සියලු පිළිකුල්කම් නිසා ඔබ තුළ කරන්නෙමි.
10. එබැවින් ඔබ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම ඔබ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, ඔබේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.
11. එබැවින් මා ජීවත්වෙනවා සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: ඔබේ සියලු අශික්ෂිතකම්වලින්ද ඔබේ සියලු පිළිකුල්කම්වලින්ද ඔබ මාගේ ශුද්ධස්ථානය අපවිත්‍රකළ නිසා සැබවින්ම මමත් ඔබ අඩු බවට පමුණුවන්නෙමි; මාගේ ඇස දයාව නොපෙන්වන්නේය, මමද කරුණා නොකරන්නෙමි.
12. ඔබෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් ඔබ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් ඔබ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.
13. මෙසේ මාගේ උදහස ඉෂ්ටවන්නේය, ඔවුන් කෙරෙහි මාගේ කෝපය සංසිඳුදවා පළිගන්නෙමි. මා විසින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන විට ස්වාමීවූ මම මාගේ ජ්වලිතකමෙන් කථාකළ බව ඔවුන් දැනගන්නවා ඇත.
14. ඔබ ළඟින් යන සියල්ලන්ගේ ඇස් හමුයෙහි ඔබ අවට සිටින ජාතීන් අතරෙහි ඔබ පාළුවක්ද නින්දාවක්ද කරන්නෙමි.
15. මා විසින් උදහසින්ද කෝපයෙන්ද රෞද්‍ර තරවටුවලින්ද ඔබ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන කල්හිත්, විනාශකරන්නාවූ, ඔබ සැම විනාශ කිරීමට මා එවන්නාවූ සාගතය නමැති විපත්ති - ඊගස් මා ඔබ සැම අතරට එවන කල්හිත්,
16. ඔබ සැම වටකර සිටින ජාතීන්ට එය නින්දාවක් සහ කවටකමක්ද ගුරුකමක් සහ විස්මයට හේතුවක්ද වන්නේය. ස්වාමීවූ මම කීවෙමි. මම ඔබ සැම කෙරෙහි සාගතය වැඩිකොට ඔබ සැමගේ ආහාර නමැති යෂ්ටිය බිඳින්නෙමි.
17. ඔබේ දරුවන් නැතිකිරීමට මම ඔබ සැමට විරුද්ධව සාගතයද චණ්ඩ මෘගයන්ද එවන්නෙමි; වසංගතය හා ලේ වැගිරීම ඔබ සැම අතරට පැමිණෙන්නේය; මම ඔබ පිටට කඩුවක් පමුණුවන්නෙමියි ස්වාමීවූ මම කීවෙමියි කීසේක.
1. ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2. මනුෂ්‍ය පුත්‍රය, ඔබේ මුහුණ ඉශ්‍රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න-
3. එම්බා ඉශ්‍රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේ ගේ වචනය අසන්න. කඳු‍වලටත් හෙල්වලටත් දියපාරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම, මමම, ඔබ සැම පිටට කඩුවක් පමුණුවා, ඔබ සැමගේ උස්තැන් නැතිකරන්නෙමි.
4. ඔබ සැමගේ පූජාසන පාළුවන්නේය, ඔබ සැමගේ සූර්ය රූප කඩාදමනු ලබන්නේය. ඔබ සැමගේ මැරුම්කෑ අය ඔබ සැමගේ දේවරූප ඉදිරිපිට හෙළන්නෙමි.
5. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මළකඳන් ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි දමා, ඔබ සැමගේ ඇට ඔබ සැමගේ පූජාසන වටකරින් විසුරුවන්නෙමි.
6. ඔබ සැමගේ පූජාසන පාළුවී, නාස්තිවී, ඔබ සැමගේ දේවරූප කඩාදමනු ලැබ නැතිවී, ඔබ සැමගේ සූර්යරූප කඩාදමනු ලැබ, ඔබ සැමගේ කර්මාන්ත මැකීයන පිණිස, ඔබ සැමගේ සියලු වාසස්ථානවල නුවරවල් නටබුන්වන්නේය, උස්තැන්ද පාළුවන්නේය.
7. ඔබ සැම අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නවා ඇත.
8. එසේවී නුමුත් දේශවල ඔබ සැම විසුරුවනු ලබන කල, ඔබ සැමගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.
9. ඔබ සැමගේ ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.
10. මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. ඔවුන්ට මේ විපත්තිය පමුණුවන්නෙමියි කියා මා විසින් නිෂ්ඵල ලෙස කීවා නොවේයයි කීය.
11. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබේ අත් පා ගසමින්- අහෝ! කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද වැටෙන්ට සිටින ඉශ්‍රායෙල් වංශයේ සියලු නපුරු පිළිකුල් දේවල හැටියයි කියන්න.
12. ඈත සිටින අය වසංගතයෙන් මැරෙනවා ඇත; ළඟ සිටින අය කඩුවෙන් වැටෙන්නෝය; ඉතුරුවී වටලෑමට අසුවෙන අය සාගතයෙන් නසිනවා ඇත. මෙලෙස මම ඔවුන් කෙරේ මාගේ කෝපය ඉෂ්ටකරන්නෙමි.
13. ඔවුන් තමුන්ගේ සියලු දේවරූපවලට මිහිරි සුවඳ ඔප්පුකළ ස්ථාන වන උස්වූ සියලු හෙල්වලත් සියලු කඳු මුදුන්වලත් සියලු අමුගස් යටත් ඝන අතු ඇති සියලු අලෝන ගස් යටත් ඔවුන්ගේ පූජාසන වටකර ඔවුන්ගේ දේවරූප අතරෙහි ඔවුන්ගේ මැරුම්කෑවුන් වැටී සිටින කල, මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නවා ඇත.
14. මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිඟුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
169. ස්වාමිනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය පරිද්දෙන් මට නුවණ දුන මැනව.
170. මාගේ අයදීම ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ වචනය ලෙස මා මිදුව මැනව.
171. ඔබගේ පනත් ඔබ මට උගන්වන බැවින් මාගේ තොල් ප්‍රශංසාව ප්‍රකාශ කෙරේවා.
172. ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම වන බැවින් මාගේ දිව ඔබගේ වචනය ගැන ගී කියාවා.
173. ඔබගේ හස්තය මට උපකාර පිණිස සූදානම්වේවා; මක්නිසාද මම ඔබගේ නියෝග තෝරාගතිමි.
174. ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි; ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය.
175. මාගේ ආත්මය ජීවත්වේවා, එවිට එය ඔබට ප්‍රශංසාකරන්නේය; ඔබගේ විනිශ්චයෝ මට උපකාර කෙරෙත්වා.
176. නැතිවූ බැටළුවෙකු මෙන් මුළාව ගියෙමි; ඔබගේ මෙහෙකරුවා සෙවුව මැනව; මක්නිසාද ඔබගේ ආඥා සිහිනැති නොකරමි.
14. නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි.
1. එහෙයින්, ස්වර්ගීය කැඳවීමකට පංගුකාරවූ ශුද්ධවූ සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් සහ උත්තම පූජකයාණන්වූ යේසුස්වහන්සේ කල්පනාකරන්න.
2. මෝසෙස් දෙවියන්වහන්සේගේ මුළු ගෘහයෙහි විශ්වාසව සිටිසේම මුන්වහන්සේද තමන්ව පත්කළ තැනන්වහන්සේට විශ්වාසව සිටිසේක.
3. ගෘහයට වඩා ගෘහය සෑදූ අයට ගෞරවය තිබෙන්නාක්මෙන්ම, මුන්වහන්සේ මෝසෙස්ට වඩා ගෞරවය ලබන්ට වටිනසේකැයි ඒත්තුගන්නාලද්දේය.
4. මක්නිසාද සියලුම ගෘහයෝ යම් යම් අය විසින් සාදනු ලබති; නුමුත් සියලු දේවල් පිහිටෙවු තැනන්වහන්සේ දෙවියන්වහන්සේය.
5. සැබවින් මෝසෙස් මතු කියන්ට තිබුණු දේ ගැන සාක්ෂියක් ලෙස උන්වහන්සේගේ මුළු ගෘහයේ සේවකයෙකු මෙන් විශ්වාසව සිටියේය;
6. නුමුත් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ ගෘහය කෙරෙහි පත්ව සිටින පුත්‍රයෙකු මෙන් විශ්වාසව සිටිසේක. අපි අන්තිමය දක්වා අපේ බලාපොරොත්තුවේ නිසැකකමද පාරට්ටුවද ස්ථිරලෙස අල්ලාගන සිටිමු නම්, උන්වහන්සේගේ ගෘහය අපිය.
7. එබැවින් ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: අද ඔබ සැම උන්වහන්සේගේ හඬ අසන්නහු නම්,
8. කාන්තාරයේදී පරීක්ෂාකිරීමේ දවසේ උදහස් ඉපදවීමේදී මෙන් ඔබ සැමගේ සිත් දැඩිකර නොගන්න.
9. එහිදී ඔබ සැමගේ පියවරු මා සෝදිසිකර බැලීමෙන් පරීක්ෂාකොට, සතළිස් අවුරුද්දක් මාගේ ක්‍රියාවන් දුටුවෝය.
10. එබැවින් මම ඒ පරම්පරාවට අප්‍රසන්නවී: ඔව්හු නිතරම සිතින් මුළාවෙති; මාගේ මාර්ගයන්ද ඔව්හු දැන නොගත්තෝය.
11. ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමියි කියන ලෙස,
12. සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් ඔබ සැම අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.
13. ඔබ සැමගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.
14. මක්නිසාද: අද ඔබ සැම උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් ඔබ සැමගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,
15. අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.
16. එසේය, ඇසූ කල්හි උදහස් ඉපදෙවූවෝ කවරහුද? මෝසෙස් කරණකොටගෙන මිසරයෙන් පිටත්ව ආවාවූ සියල්ලෝ නොවෙද්ද?
17. තවද උන්වහන්සේ සතළිස් අවුරුද්දක් අප්‍රසන්නව සිටියේ කවුරුන් කෙරෙහිද? පව්කළාවූ, තමුන්ගේ මළකඳන් කාන්තාරයේ වැටුණාවූ තැනැත්තන් කෙරෙහි නොවේද?
18. තමන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද?
19. මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල්වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.
Sinhala Bible SROV
Ceylon Bible Society