අවුරුද්දකින් බයිබලය
දෙසැම්බර් 10

1. ඉශ්‍රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේමකොට, මාගේ පුත්‍රයාවූ ඔහු මිසරයෙන් කැඳවාගතිමි.
2. ඔවුන් කැඳවූ පමණටම ඔව්හු ඔවුන් වෙතින් ඉවත්ව ගියෝය. ඔව්හු බාල් දේවතා වුන්ට යාගකළෝය, කැපූරූපවලට සුවඳ දුම් ඔප්පුකළෝය.
3. එහෙත් මම එප්‍රායිම්ට ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩාගතිමි; එහෙත් ඔවුන්ට සුවකළේ මා බව ඔව්හු නොදැන සිටියෝය.
4. මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
5. ඔහු මිසර දේශයට හැරී නොයන්නේය; එහෙත් ඔවුන් හැරීඑන්ට අකමැතිවූ නිසා අෂූරියයා ඔහුගේ රජ වන්නේය.
6. ඔවුන්ගේ මන්ත්‍රණ නිසා කඩුව ඔහුගේ නුවරවල් පිටට පැමිණ, ඔහුගේ පොලු විනාශකොට, ඔවුන් නාස්තිකරන්නේය.
7. මාගේ සෙනඟ මා කෙරෙන් පසුබටවීමට ඇලුම්ව සිටිති. උසස් තැන්හි වසන තැනන්වහන්සේ වෙතට එන්ට ඔවුන් කැඳවන නුමුත්, කිසිවෙක් උන්වහන්සේව උසස් නොකරන්නේය.
8. එප්‍රායිම්, මම කෙසේ ඔබ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, ඔබ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් ඔබට කරන්නෙම්ද? කෙසේ ඔබව ෂෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
9. මාගේ බලවත් උදහස ඉෂ්ට නොකරන්නෙමි, එප්‍රායිම් නැවත විනාශ නොකරන්නෙමි. මක්නිසාද මම මනුෂ්‍යයෙක් නොව දෙවියන්වහන්සේය; ඔබ සැම අතරෙහි සිටින ශුද්ධ තැනන්වහන්සේය.
10. මම නුවරට ඇතුල් නොවන්නෙමි. ස්වාමීන්වහන්සේ සිංහයෙකු මෙන් ගොරවන කල, ඔව්හු උන්වහන්සේ පස්සේ යන්නෝය. මක්නිසාද උන්වහන්සේ ගොරවනසේක, දරුවෝද වෙවුලමින් බස්නාහිර සිට එන්නෝය.
11. ඔව්හු ගේකුරුල්ලෙකු මෙන් මිසරයෙන්ද පරෙවියෙකු මෙන් අෂූර් දේශයෙන්ද වෙවුලමින් එන්නෝය. මම ඔවුන්ගේ ගෙවල්වල ඔවුන් වාසයකරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
1. එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.
2. ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේ ට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.
3. ගර්භයේදී ඔහු තමාගේ සහෝදරයාගේ විලුඹ අල්වාගත්තේය; පුරුෂ වයසේදී ඔහු දෙවියන්වහන්සේ වෙත බලපෑවේය.
4. එසේය, ඔහු දේවදූතයා කෙරෙහි බලපාමින් ජයගත්තේය. ඔහු අඬා උන්වහන්සේට කන්නලව්කෙළේය. බෙතෙල්හිදී උන්වහන්සේ ඔහුට සම්බවිය.
5. එහිදී උන්වහන්සේ එනම්, යෙහෝවා යන ස්මෘති නාමය ඇති සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ය, අප සමඟ කථාකළසේක.
6. එබැවින් ඔබ ඔබේ දෙවියන්වහන්සේ වෙතට හැරී, කරුණාවද විනිශ්චයද පවත්වා, ඔබේ දෙවියන්වහන්සේ ගැන නිතරම බලාසිටින්න.
7. වෙළෙන්දෙක් වන ඔහුගේ අතේ හොර තරාදි තිබේ. ඔහු ප්‍රයෝගකරන්ට කැමැතිය.
8. නුමුත් එප්‍රායිම් කථාකොට: සැබවින් මම පොහොසත්වී සිටිමි, සම්පත් ලබාගන සිටිමි. මාගේ සියලු වැඩ අතරේ පාපයවූ අයුතුකමක් මට තිබෙන බව ඔවුන්ට සම්බ නොවන්නේයයි කීය.
9. එහෙත් මිසර දේශයේ පටන් මම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මංගල්‍ය දවස්වලදී මෙන් මත්තටත් ඔබ කූඩාරම්වල වාසයකරවන්නෙමි.
10. ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.
11. ගිලියද් අයුතුකමද? ඔව්හු සහමුලින්ම නිෂ්ඵලකමය; ඔව්හු ගිල්ගල්හිදී ගොනුන් පූජාකරති. එසේය, ඔවුන්ගේ පූජාසනද කෙතේ හීවිටි පිට තිබෙන ගල්ගොඩවල් මෙන්ය.
12. යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.
13. ප්‍රොපේතවරයෙකු ලවා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙන්වූසේක, ප්‍රොපේතවරයෙකු ලවා ඔව්හු ආරක්ෂාකරනු ලැබුවෝය.
14. එප්‍රායිම් විසින් තද ලෙසම කෝප උපදවා තිබේ. එබැවින් ඔහුගේ ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහු පිටට පැමිණෙන්ට ඉඩ ඇර, ඔහුගේ නින්දිතකම ඔහු පිටට පමුණුවනවා ඇත.
17. දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!
18. ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.
19. දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්.
20. මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.
21. ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව ගැනිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?
22. සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන් ගනිමි.
23. දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.
24. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.
22. තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.
1. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයාවූ යූදස් යන මා විසින් පියවූ දෙවියන්වහන්සේ තුළ ප්‍රියවූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්ට ලියා එවන වග නම්:
2. ඔබ සැමට දයාවත් සමාදානයත් ප්‍රේමයත් වැඩිවේවා.
3. ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන ඔබ සැමට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් ඔබ සැමට ලියා එවන්ට මට ඕනෑවිය.
4. මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති.
5. ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම ඔබ සැම දැනගන සිටින නුමුත්, මම ඔබ සැමට එය සිහිකරවන්ට කැමැත්තෙමි.
6. තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියාවූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබූසේක.
7. එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.
8. එහෙත් ඒ ආකාරයෙන්ම මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම්වලදී මාංසය කිලුටුකරගනිති, අධිපතිකම සුළුකරති, උත්තමයන්ට නින්දාකරති.
9. නුමුත් අග්‍ර දේවදූතයාවූ මීකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ ඔබට තරවටුකරනසේක්වයි කීවේය.
10. නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූ විනාශකරනු ලබන්නෝය.
11. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර; කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ-කථාවේදී විනාශවූවෝය.
12. මොව්හු නම් ඔබ සැම සමඟ මංගල්‍ය කෑම කන විට ඔබ සැමගේ ප්‍රේම-මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.
13. ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.
14. ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්,
15. අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ ආසේකැයි කීවේය
16. මොව්හු මැසිවිලි කියන්නෝය, කොදුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය. ස්ථිරව සිටීමට හා අනුකම්පා වීමට අවවාද
17. නුමුත් ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් පළමු කියනලද වචන,
18. එනම්: අන්තිම කාලයෙහිදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් ඔබ සැමට කී හැටි සිහිකරන්න.
19. මොව්හු මාංසිකව, ආත්මයාණන්වහන්සේ නැතුව, භේදකරන්නෝය.
20. නුමුත් ප්‍රේමවන්තයෙනි, ඔබ සැම වනාහි ඔබ සැමගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට ඔබ සැමම ගොඩනඟාගනිමිනි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,
21. සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව බලාසිටිමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.
22. තවද මාංසය කරණකොටගෙන කැලැල්වූ වස්ත්‍රයට පවා ද්වේෂකරමින්,
23. අනුමානයෙහි සිටින සමහරුන්ට දයාව පෙන්වන්න; සමහරෙකුන් ගින්නෙන් ඇදලා ගළවන්න; භයින් යුක්තව සමහරුන්ට දයාව පෙන්වන්න. ප්‍රශංසා වාක්‍යය
24. ඉතින් ඔබ සැම නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,
25. අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්ත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්.
Sinhala Bible SROV
Ceylon Bible Society