අවුරුද්දකින් බයිබලය ජූනි 172 රාජාවලියේ 22:1-201. යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස් එක් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙදීදාය, ඈ බොශ්කත්හි අදායාගේ දුවෙක්ය.2. ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කොට, දකුණටවත් වමටවත් නොහැරී, තමාගේ පියවූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි හැසුරුණේය.3. යොෂියා රජ තමාගේ දහඅටවෙනි අවුරුද්දේදී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශලියාගේ පුත්‍රවූ ෂාපාන් ලේකම ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට යවමින් කථාකොට:4. ඔබ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න.5. ඒවා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි වැඩකරවීමට පත්ව සිටින තැනැත්තන් අතට දෙනු ලැබේවා; ඔව්හුද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ කැඩුම් හරිගැස්සීමට කර්මාන්තකාරයන්ට,6. එනම් වඩුවන්ටත් ගොඩනගන්නන්ටත් පෙදරේරුවන්ටත් ගෘහය අලුත්වැඩියාකිරීමට ලී සහ කැපූ ගල්ද මිලේට ගැනීම පිණිස ඒවා දෙත්වයි කීවේය.7. එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.8. නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය.9. ලේකම වන ෂාපාන් තෙම රජු ළඟට හැරී අවුත්: ගෘහයෙහි තිබුණ මුදල් ඔබගේ සේවකයෝ රැගෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි වැඩ කරවීමට පත්ව සිටින්නන් අතට දුන්නෝයයි රජුට කීවේය.10. තවද ෂාපාන් ලේකමට කථාකොට: පූජකවූ හිල්කියා පොතක් මට දුන්නේය කියා රජුට දන්වා ඒක රජු ඉදිරියෙහි කියෙවුවේය.11. රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන,12. පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට:13. ඔබ සැම ගොස් මේ සම්බවුණ පොතේ වචන ගැන මා උදෙසාත් සෙනඟ උදෙසාත් සියලු යුදාවරුන් උදෙසාත් ස්වාමීන්වහන්සේ ගෙන් විචාරන්න. මක්නිසාද අප ගැන ලියා තිබෙන සියල්ලේ ප්‍රකාරයට කරන ලෙස අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන ස්වාමීන්වහන්සේ ගේ උදහස මහත්යයි කීවේය.14. එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය.15. ඈ ඔවුන්ට කියන්නී: ඉශ්රායෙල්හි දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම මා වෙතට එවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න:16. මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යුදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි.17. ඔව්හු මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින්, මාගේ උදහස මේ ස්ථානය කෙරෙහි ඇවිලෙන්නේය, ඒක නිවෙන්නේ නැත.18. නුමුත් ස්වාමීන්වහන්සේ ගෙන් විචාරන පිණිස ඔබ සැම එවූ යුදාහි රජුට මෙසේ කියන්න: ඔබ ඇසූ වචන ගැන වනාහි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-19. පාළුවක්ද ශාපයක්ද වේය කියා මා විසින් මේ ස්ථානයටත් මෙහි වැසියන්ටත් විරුද්ධව කියා තිබෙන කාරණා ඔබ ඇසූ විට ඔබේ සිත මෘදුවී, ඔබ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී, ඔබේ ඇඳුම් ඉරාගන මා ඉදිරියෙහි හැඬූ නිසා, මමත් ඔබට ඇහුම්කන්දුන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.20. එබැවින් ඔබේ පියවරුන් ළඟට ඔබ පමුණුවන්නෙමි, මා විසින් මේ ස්ථානයට පමුණුවන සියලුම විපත්ති ඔබේ ඇස්වලින් නොදැක, ඔබේ සොහොනට ඔබ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හු හැරී ඇවිත් රජුට කීවෝය.2 රාජාවලියේ 23:1-371. එවිට රජ යුදාහිද යෙරුසලමේද සියලු වැඩිමහල්ලන් තමා ළඟට රැස්කරවාගන,2. යුදාහි සියලු මනුෂ්‍යයන්ද යෙරුසලමේ සියලු වැසියන්ද පූජකයන්ද අනාගතවක්තෘන්ද ලොකු කුඩා සියලු සෙනඟද සමඟ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි සම්බවුණ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගන සිටිද්දී කියෙවුවේය.3. තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.4. එවිට බාල්ටත් අෂේරාටත් මුළු අහස් සේනාවටත් සාදා තිබුණ සියලු භාජන ස්වාමීන්වහන්සේ ගේ මාලිගාවෙන් පිටතට ගෙනයන්ට කියා රජ නායක පූජකවූ හිල්කියාටත් දෙවෙනි පංක්තියේ පූජකයන්ටත් දොරටු පාලයන්ටත් අණකෙළේය. ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් භූමිවල ඒවා පුලුස්සාදමා, ඒවායේ අලු බෙතෙල්ට ගෙනාවේය.5. යුදාහි නුවරවලද යෙරුසලම වටකරද තිබුණු උස් තැන්වල සුවඳ දුම් ඔප්පු කරන පිණිස යුදාහි රජුන් විසින් පත්කරනලද කපුවන්ද බාල්ට සහ ඉර සඳටත් ග්‍රහතාරකාවලට සහ මුළු අහස් සේනාවටත් සුවඳ දුම් ඔප්පු කළ කපුවන්ද ඔහු පහකෙළේය.6. ඔහු අෂේරා පිළිමය ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය.7. ස්වාමීන්වහන්සේ ගේ ගෘහය ළඟ තිබුණාවූ සොදොමියයන්ගේ ගෙවලුත් ඔහු බිඳදැම්මේය. එහි ස්ත්‍රීහු අෂේරා රූපවලට තිර වියුවෝය.8. තවද ඔහු යුදාහි නුවරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයෙර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පුකළ උස් තැන් දූෂ්‍යකෙළේය; දොරටු ළඟ තිබුණ උස් තැන්ද නුවර අධිපතියාවූ යෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණු උස් තැන්ද කඩාදැමුවේය.9. එසේ වී නුමුත් උස් තැන්වල පූජකයෝ තමුන්ගේ සහෝදරයන් සමඟ මුහුන් නොදැමූ රොටි කෑවෝය, නුමුත් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය ළඟට නාවෝය.10. කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය.11. යුදාහි රජුන් විසින් සූර්යයාට කැපකළ අශ්වයන් ඔහු ස්වාමීන්වහන්සේ ගේ ගෘහට ඇතුල්වෙන තැනින් අහක්කොට උප නගරයෙහි සිටි ඇමතියාවූ නාතන්-මෙලෙක්ගේ ගෙට ඇරියේය; සූර්ය රථද ගින්නෙන් පුලුස්සාදැමුවේය.12. ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යුදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනද ස්වාමීන්වහන්සේ ගේ මිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය.13. යෙරුසලම ඉදිරිපිටින් විනාශ කන්දට දකුණෙන් තිබුණාවූ ශීදොන්වරුන්ගේ පිළිකුලවූ අෂ්ටොරෙත්ටත් මෝවබ්වරුන්ගේ පිළිකුල්වූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජවූ සාලමොන් විසින් ගොඩනැගූ උස්තැන් රජ දූෂ්‍යකෙළේය.14. ඔහු රූප කුළුනුද බිඳ, අෂේරා රූප කපාදමා, ඒවා තිබුණු තැන් මිනී ඇටවලින් පිරෙවුවේය.15. තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය.16. යොෂියා හැරුණු විට එහි කන්දේ තිබුණු සොහොන් ගෙවල් දැක, මේ කාරණා ප්‍රකාශකළාවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා විසින් ප්‍රකාශකළ ස්වාමීන්වහන්සේ ගේ වචනය ප්‍රකාර ඒවා පූජාසනය පිට පුලුස්සා ඒක දූෂ්‍ය කෙළේය.17. තවද ඔහු: මට පෙනෙන අර සොහොන් කොත මොකදැයි ඇසීය. නුවර මනුෂ්‍යයෝ: ඒක යුදා සිට ඇවිත් බෙතෙල්හි පූජාසනයට විරුද්ධව ඔබ කළ මේ දේවල් කලින් ප්‍රකාශකළාවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සොහොන්ගේයයි ඔහුට කීවෝය.18. රජද: ඔහු එසේ සිටියාවේ; කිසිවෙක් ඔහුගේ ඇටවලට අත නොගසාවයි කීවේය. මෙසේ ඔව්හු ඔහුගේ ඇටද සමාරියෙන් ආ අනාගතවක්තෘගේ ඇටද තිබෙන්ට ඇරියෝය.19. සමාරියේ නුවරවල තිබුණාවූ, ස්වාමීන්වහන්සේ කෝපකරවන ලෙස ඉශ්රායෙල් රජුන් විසින් සෑදුවාවූ උස්තැන්හිවූ සියලු ගෙවල් යොෂියා පහකොට, බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල ප්‍රකාර ඒවාටත් කෙළේය.20. එහි සිටි උස්තැන්වල සියලු පූජකයන්ද පූජාසන පිට මරා, ඒවා පිට මිනී ඇට පුලුස්සා, ඔහු යෙරුසලමට හැරී ආවේය.21. තවද රජ කථාකොට: මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පාස්කුව පවත්වන්නැයි මුළු සෙනඟට අණකෙළේය.22. ඉශ්රායෙල්වරුන් විනිශ්චයකළ විනිශ්චයකාරයන්ගේ දවස්වල පටන් ඉශ්රායෙල් රජුන්ගේද යුදා රජුන්ගේද මුළු කාලයෙහි සැබවින්ම එබඳු පාස්කුවක් නොපවත්වන ලද්දේය.23. ඒ පාස්කුව ස්වාමීන්වහන්සේ උදෙසා යෙරුසලමේ පවත්වනලද්දේ යොෂියා රජුගේ දහඅටවෙනි අවුරුද්දේදීය.24. තවද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යුදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය.25. මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.26. එසේවීනුමුත් මනස්සේ විසින් ස්වාමීන්වහන්සේ කෝපකළ සියලු කාරණා නිසා යුදා කෙරෙහි ඇවිළී තිබුණ උන්වහන්සේගේ මහත් උදහසේ බලවත්කම උන්වහන්සේ පහකරනොගත්සේක.27. ස්වාමීන්වහන්සේ කථාකොට: මා විසින් ඉශ්රායෙල් පහකරදැමුවාක්මෙන් යුදාත් මාගේ ඇස් හමුයෙන් පහකරදමා, මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය එහි පවතින්නේයයි මා කී ගෘහයද අත්හැර දමන්නෙමියි කීසේක.28. යොෂියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?29. ඔහුගේ දවස්වලදී මිසරයේ රජවූ ඵාරාවෝ-නෙකො අෂූර්හි රජුට විරුද්ධව ප්‍රාත් ගඟ ළඟට ගියේය; එවිට යොෂියා රජ ඔහුට විරුද්ධව ගියේය. මිසරයේ රජද මෙගිද්දෝහිදී ඔහු දුටු විට ඔහු මැරීය.30. ඔහුගේ සේවකයෝ මළාවූ ඔහු රථයකින් මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත් ඔහුගේම සොහොන්ගෙයි ඔහු තැන්පත්කෙළෝය. එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගන ආලේපකොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත්කළෝය.31. යෙහෝවාහාස් විසිතුන් හැවිරිදි වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.32. ඔහුගේ පියවරුන් කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.33. එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.34. තවද ඵාරාවෝ-නෙකො තෙමේ යොෂියා රජුගේ පුත්‍රවූ එලියාකිම් ඔහුගේ පියවූ යොෂියා වෙනුවට රජකමට පත්කොට, ඔහුගේ නාමය යෙහෝයාකිම්ය කියා වෙනස් කෙළේය. නුමුත් ඔහු යෙහෝවාහාස් රැගෙන මිසරයට ගියේය; එහිදී ඔහු මළේය.35. යෙහෝයාකිම් ඒ රිදීද රන්ද ඵාරාවෝට දුන්නේය; නුමුත් ඵාරාවෝගේ ආඥාවේ ප්‍රකාර ඒ මුදල් දෙන පිණිස ඔහු දේශයට ගණන නියමකොට, ඵාරාවෝ-නෙකොට දීමට එකිනෙකාට නියමකළ හැටියට ඒ රිදීද රන්ද දේශයේ සෙනඟගෙන් අයකෙළේය.36. යෙහෝයාකිම් විසිපස් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම ශෙබිදාය, ඈ රූමාහි පෙදායාගේ දුවෙක්ය.37. ඔහු තමාගේ පියවරුන් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.2 රාජාවලියේ 24:1-201. ඔහුගේ දවස්වලදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් පැමිණියේය, යෙහෝයාකිම්ද තුන් අවුරුද්දක් ඔහුට සේවයකොට පසුව ඔහුට විරුද්ධව කැරළිගැසුවේය.2. ස්වාමීන්වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවල්ද සිරියවරුන්ගේ හමුදාවල්ද මෝවබ්වරුන්ගේ හමුදාවල්ද අම්මොන් පුත්‍රයන්ගේ හමුදාවල්ද ඔහුට විරුද්ධව එවූ සේක, තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන් ලවා ස්වාමීන්වහන්සේ කියෙවු වචනයේ හැටියට යුදා නැතිකරන පිණිස ඊට විරුද්ධව උන්වහන්සේ ඔවුන් එවූසේක.3. යුදාවරුන් තමන්ගේ ඇස් හමුයෙන් පහකරන පිණිස ස්වාමීන්වහන්සේ ගේ ආඥාවෙන් මෙය ඔවුන් පිටට පැමුණුණේ මනස්සේගේ පාපවල් වන ඔහු කළ සියල්ල නිසාත්;4. ඔහු වැගිරෙවූ නිදොස් ලේ නිසාත්ය; මක්නිසාද ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පිරෙවුවේය. ස්වාමීන්වහන්සේ ද කමාවෙන්ට නොකැමැතිවූසේක.5. යෙහෝයාකිම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යුදා රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?6. යෙහෝයාකිම් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝයාඛින් ඔහු වෙනුවට රජවිය.7. බබිලෝනියේ රජු මිසරයේ ඔය පටන් ප්‍රාත් ගංගාව දක්වා මිසර රජුට අයිති සියල්ල ගත් නිසා මිසරයේ රජ තවත් තමාගේ දේශයෙන් පිටතට ආවේ නැත.8. යෙහෝයාඛින් දහඅට අවුරුදු වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම නෙහෂ්තාය, ඈ යෙරුසලමේ එල්නාතාන්ගේ දුවෙක්ය.9. ඔහු තමාගේ පියා කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.10. ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය.11. ස්වකීය සේවකයන් නුවර වටලාගන සිටිද්දී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද එතැනට ආයේය.12. එවිට යුදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.13. ඔහු ස්වාමීන්වහන්සේ කී ලෙස ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ වස්තු සියල්ලද රජගෙයි වස්තුද එතැනින් පිටතට ගෙනයනුයේ, ඉශ්රායෙල් රජවූ සාලමොන් විසින් ස්වාමීන්වහන්සේ ගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලිකොට කැපීය.14. ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය; දේශයේ ඉතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතුරු නොවීය.15. ඔහු යෙහෝයාඛින් බබිලෝනියට ගෙනගියේය; රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බබිලෝනියට ගෙනගියේය.16. සත් දහසක් වූ සියලු යුද්ධකාරයන්ද කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහසක්ද වන යුද්ධකරන සියලු බලවන්තයන් බබිලෝනියේ රජ හිරගණනේ බබිලෝනියට ගෙනගියේය.17. බබිලෝනියේ රජද ඔහුගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත්කොට ඔහුගේ නම ශෙදෙකියාය කියා වෙනස්කෙළේය.18. ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේදී රජවී එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමුතල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.19. ඔහු යෙහෝයාකිම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.20. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යුදාටත් මෙසේ සිද්ධ වුණේය. ශෙදෙකියා බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසීය.ගීතාවලිය 74:18-2318. ස්වාමිනි, සතුරා නින්දාකළ බවත් අඥාන සෙනඟක් ඔබගේ නාමයට අපහාසකළ බවත් සිහිකළ මැනව. 19. ඔබගේ කොබෙයියාගේ ප්‍රාණය වනමෘගයාට නුදුන මැනව. ඔබගේ අසරණ රැළ සදාකාලේටම සිහිනැති නොකළ මැනව. 20. ගිවිසුම සැලකුව මැනව. මක්නිසාද පොළොවේ අඳුරු තැන් බලාත්කාරයේ වාසස්ථානවලින් පිරී තිබේ. 21. පීඩා ලත් තැනැත්තේ ලජ්ජාවී ආපසු නොඒවා, දුප්පතාද දිළිඳාද ඔබගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. 22. දෙවියන්වහන්ස, නැගිට ඔබගේ යුක්තිය කියා සිටිය මැනව. අඥානයා දවස මුළුල්ලේ ඔබට නින්දා කරන හැටි සිහිකළ මැනව. 23. ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව. ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ. හිතෝපදේශ 19:3-33. මනුෂ්‍යයෙකුගේ මෝඩකම ඔහුගේ මාර්ගය පෙරළයි; එවිට ඔහුගේ සිත ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කිපෙයි. ක්‍රියා 2:22-4722. ඉශ්රායෙල් මනුෂ්‍යයෙනි, මේ වචන අසන්න-ඔබ සැමම දන්නා ලෙස ඔබ සැම අතරේ දෙවියන්වහන්සේ විසින් නාසරිය යේසුස්වහන්සේ ලවා කරවනලද බලවත් ක්‍රියාවලින්ද පුදුම වලින් ද ලකුණුවලින් ද දෙවියන්වහන්සේ විසින් ඒත්තුගනු ලැබූ මනුෂ්‍යයෙක්වූ එම යේසුස්වහන්සේ,23. දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, ඔබ සැම ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.24. නුමුත් දෙවියන්වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේ මුදා නැගිටෙවුසේක. කුමක්හෙයින්ද උන්වහන්සේ නවතාගන සිටින්ට මරණයට නුපුළුවන් විය.25. මක්නිසාද දාවිත් උන්වහන්සේ ගැන කථාකරමින්: ස්වාමීන්වහන්සේ නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; මා සොලවනු නොලබන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටිනසේක. 26. එහෙයින් මාගේ සිත සන්තෝෂවිය, මාගේ දිව ප්රීතිවිය; තවද මාගේ මාංසය බලාපොරොත්තුවෙන් වසන්නේය. 27. මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය පාතාලයේ නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනන්වහන්සේ කුණු වෙන්ටවත් ඉඩ නොදෙනසේක. 28. ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්වූසේක; ඔබගේ මුහුණෙන් ඔබ මා සන්තෝෂයෙන් පූර්ණකරනසේකැයි කීය.29. සහෝදරයෙනි, කුලජ්‍යෙෂ්ඨවූ දාවිත් මැරී තැන්පත්කරනු ලැබූ බව භය නැතුව කියන්ට පුළුවන, ඔහුගේ සොහොන්ගෙය අද දක්වා අප අතරේ තිබේ.30. එහෙයින් ඔහු අනාගතවක්තෘ කෙනෙක්ව, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවනසේකැයි දෙවියන්වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව දැනගත්තේය.31. ඔහු මෙය කලින් දැක ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන කථාකරමින් උන්වහන්සේගේ පාතාලයේ නවතින්ට හරිනු නොලැබූ බවත් උන්වහන්සේගේ මාංසය කුණු නොවූ බවත් කීවේය.32. මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය.33. එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, ඔබ සැම අසන දකින මේ දේ වැගිරෙවුසේක.34. මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නුමුත් ඔහු කථා කොට: මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කරන තෙක් 35. මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි ඔහුම කියයි.36. එබැවින් ඔබ සැම විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනීවයි කීවේය.37. ඔව්හු ඒ අසා අනිනලද සිත් ඇතුව: සහෝදරයෙනි, අප විසින් මක්කරන්ට ඕනෑදැයි පේතෘස්ගෙන්ද අනික් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය.38. පේතෘස්: ඔබ සැම සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව ඔබ සැම ලබන්නහුය.39. මක්නිසාද ඒ පොරොන්දුව ඔබ සැමටත් ඔබ සැමගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවනසේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත්යයි කියා,40. වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.41. එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.42. තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.43. එවිට සියලුදෙනා කෙරෙහි භය පැමුණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරණකොටගෙන කරන ලද්දේය.44. අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය;45. ඔව්හු තමුන්ගේ ගම් බිම් සහ දේපළ විකුණා, එකිනෙකාට වුවමනාව තිබුණු හැටියට සියල්ලන්ට බෙදාදුන්නෝය.46. තවද ඔව්හු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාළිගාවේ සිටිමින්, ගෙදරදී රොටි කඩමින්, ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින්, දෙවියන්වහන්සේට ස්තුති ප්‍රශංසාකරමින්,47. සෙනඟට ප්‍රිය උපදින ලෙස ක්‍රියාකරමින් පසුවුණෝය. ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක්කළසේක. Sinhala Bible SROV Ceylon Bible Society