|
|
| 1. නැවතත් යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ: |
| 2. අනේ, ඉස්සර මාස වන දෙවියන්වහන්සේ මා රැකවල්කළ දවස්වලදී මෙන් මට සිටින්ට ඇත්නම්! |
| 3. එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි; |
| 4. මාගේ සරත් කාලයෙහි මා සිටි ලෙසම සිටින්ට ඇත්නම්! එකල දෙවියන්වහන්සේගේ මිත්‍ර ලාභය මාගේ කූඩාරම කෙරෙහි තිබුණේය; |
| 5. සර්වපරාක්‍රමයාණෝ ඒ දක්වා මා සමඟ සිටිසේක, මාගේ දරුවෝද මා වටකර සිටියෝය. |
| 6. එකල මාගේ පියවර ගිතෙලින් සෝදා ගතිමි, පර්වතයෙන්ද තෙල් ගංගා මා වෙත ගලා ආවේය. |
| 7. මා නුවර දොරටුව ළඟට නික්ම ගොස් එළිමහනෙහි මාගේ ආසනය තැබූ කල, |
| 8. තරුණයෝ මා දැක සැඟවුණෝය, මහල්ලෝද නැගිට සිටියෝය. |
| 9. අධිපතීහු කථාව නවත්වා සිටියෝය, අතින් තමුන්ගේ කට වසාගත්තෝය. |
| 10. උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය. |
| 11. මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය. |
| 12. මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි. |
| 13. නාස්තිවෙන්ට ළංව සිටි අයගේ ආශීර්වාදය මා පිටට පැමුණුණේය. වැන්දඹුවගේ සිතත් ප්‍රීතියෙන් පිනායන්ටද සැලැස්වීමි. |
| 14. මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය; මාගේ යුක්තිය සළුවක්ද මකුටයක්ද මෙන් තිබුණේය. |
| 15. මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි. |
| 16. මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි. |
| 17. මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ අත්වලින් ගොදුර උදුරා හැරියෙමි. |
| 18. එවිට මම කථාකොට: මාගේ කැදැල්ලෙහි නසින්නෙමි, මාගේ දවස්ද වැලි මෙන් වැඩිවන්නේය. |
| 19. මාගේ මුල ජලය දක්වා පැතිර ගියේය, පිනිද රෑ මුළුල්ලේ මාගේ අත්ත පිට පවතින්නේය. |
| 20. මාගේ ඉසුර මා කෙරෙහි අමුව තිබේ, මාගේ දුන්නද මාගේ අතෙහි අලුත්වන්නේයයි කීමි. |
| 21. මනුෂ්‍යයෝ මට ඇහුම්කන්දී බලාසිට, මාගේ දැනමුතුකම ලබන්ට නිශ්ශබ්දවුණෝය. |
| 22. මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය; මාගේ කථාව පිනි මෙන් ඔවුන් පිට වැටුණේය. |
| 23. වැස්ස ගැන මෙන් ඔව්හු මා ගැන බලාසිටියෝය; අන්තිම වර්ෂාව ගැන මෙන් තමුන්ගේ මුඛය ඇරගන සිටියෝය. |
| 24. මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය. |
| 25. මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි. |
|
|
| 1. නුමුත් දැන් වයසින් මට වඩා බාලයෝ මට සරදම්කරති, ඔවුන්ගේ පියවරුන් මාගේ මෘග රැළේ බල්ලන් සමඟ සිටවන්ටවත් වටීයයි නොසිතුවෙමි. |
| 2. එසේය, ඔවුන්ගේ අත්වල ශක්තියෙන් මට ඇති කම මොකද? ඔව්හු වනාහි බලය පිරිහී ගියාවූ මනුෂ්‍යයෝය. |
| 3. හිඟකමද සාගතයද නිසා ඔව්හු කෘශව සිටිති; ඔව්හු පාළුවූ නිස්සාරවූ අඳුරු ඉඩම්වලදී, වියළි බිම්හි කෑම සොයමින්; |
| 4. ලුණු ගස් පඳුරු පිටින් උදුරාගනිති; රොතෙම් මුල් ඔවුන්ගේ කෑම වේ. |
| 5. ඔව්හු මනුෂ්‍යයන් අතරෙන් එළවනු ලබති; මනුෂ්‍යයෝ සොරෙකුට මෙන් ඔවුන්ට විරුද්ධව කෑගසමින් ඔවුන් ලුහුබඳිති. |
| 6. අඳුරු මිටියාවත් කුහරවලද පොළොවෙන් පර්වතවලත් ගුහාවලද ඔව්හු වාසයකෙරෙති. |
| 7. පඳුරු අතරේ ඔව්හු මොරගසති, කටුගස් යට ලගිති. |
| 8. ඔව්හු මෝඩයන්ගේ පුත්‍රයෝය; එසේය, නීචයන්ගේ පුත්‍රයෝය; ඔව්හු දේශයෙන් තල්ලුකරදමනු ලැබුවෝය. |
| 9. දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි, එසේය, ඔවුන්ට නින්දා පාඨයක්ව සිටිමි. |
| 10. ඔව්හු මා පිළිකුල්කොට මාගෙන් දුරුවෙති, මාගේ මුහුණ ඉදිරියෙහි කෙළගසන්ට භය නැත්තෝය. |
| 11. උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය. |
| 12. මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති; ඔව්හු මාගේ පාද තල්ලුකරදමති, මට විරුද්ධව ඔවුන්ගේ විනාශකාර මාර්ග ගොඩකරති. |
| 13. ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති. |
| 14. ඔව්හු පළල් කපල්ලකින් මෙන් වැද, බිඳුණු තැන මැදින් මා පිටට පෙරළී එති. |
| 15. භයානකකම් මා පිටට හැරී තිබේ; ඒවා සුළඟ මෙන් මාගේ ගරුත්වය ලුහුබැඳ එති; මාගේ ඉසුර වලාකුළක් මෙන් පහව ගියේය. |
| 16. දැන් මාගේ ආත්මය මා තුළ වැගිරෙයි; විපත්ති දවස් මා අල්ලාගත්තේය. |
| 17. රාත්‍රියේදී මාගේ ඇට මා තුළ සිදුරුවේ; මා විකාකන වේදනාවෝ විශ්‍රාම නොගනිති. |
| 18. මාගේ රෝගයේ තදකම නිසා මාගේ වස්ත්‍රය දුර්වර්ණවී තිබේ. මාගේ සළුවේ කරපටිය මෙන් එය මා වටේ ඇලී තිබේ. |
| 19. උන්වහන්සේ මා මඩේ හෙළූසේක, මම දූවිලි සහ අළු මෙන් වී සිටිමි. |
| 20. මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක, |
| 21. ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක. |
| 22. ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක. |
| 23. මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි. |
| 24. සැබවින් උන්වහන්සේ ජරාවාස පස් ගොඩකට විරුද්ධව තමන් අත දිගු නොකරනසේක; මේ කාරණා නිසා තමාගේ විනාශයේදී වුවත් යමෙකුට මොරගැසිය හැක්කේය. |
| 25. දුකට පත්වූ අය ගැන මා වැලපුණේ නැද්ද? දිළිඳුන් ගැන මාගේ ආත්මය ශෝක නොවීද? |
| 26. මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය. |
| 27. මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති; විපත්ති දවස් මා පිටට පැමිණ තිබේ. |
| 28. මම අව්වෙන් නොව ශෝකයෙන් කළුවී ඇවිදිමි; සභාවෙහි නැගිට පිහිට ඉල්ලා කෑ ගසමි. |
| 29. මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි. |
| 30. මාගේ හම කළුවී මා කෙරෙන් වැටෙන්නේය, මාගේ ඇට උෂ්ණයෙන් දැවෙන්නේය. |
| 31. එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ. |
|
|
| 7. රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්. |
| 8. ස්වාමිනි, සියොන් අසා සන්තෝෂවූවාය, යූදාගේ දූවරු ඔබගේ විනිශ්චයන් නිසා ප්‍රීතිවූය. |
| 9. මක්නිසාද ස්වාමිනි, ඔබ මුළු පොළොවට උතුම්සේක. ඔබ සියලු දෙවිවරුන්ට වඩා අතිශයින් උසස්ව සිටිනසේක. |
| 10. ස්වාමීන් ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක. |
| 11. ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය. |
| 12. ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවව්. උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්. |
|
|
| 15. මාගේ පුත්‍රය, ඔබේ සිත ප්‍රඥාවන්ත නම් මාගේ සිතත් ප්‍රීතිමත් වන්නේය. |
| 16. එසේය, ඔබේ තොල් හරි දේවල් පවසන විට මාගේ හෘදය පිනායන්නේය. |
|
|
| 1. දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්, |
| 2. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ඔවුන්ගෙත් අපගෙත් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු තැන්වල යාච්ඤාකරන්නාවූ සියල්ලන්ටද ලියා එවන වගනම්: |
| 3. අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද අනුග්‍රහයත් සමාදානයත් ඔබ සැමට වේවා. |
| 4. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිසා මම ඔබ සැම ගැන මාගේ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරමි. |
| 5. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ඔබ සැම තුළ ස්ථිරවූ ලෙසම, |
| 6. ඔබ සැම සියලු කථාවෙහිද සියලු දැනගැනීමෙහිද උන්වහන්සේ තුළ පොහොසත් කරනලද්දහුය. |
| 7. මෙසේ ඔබ සැම කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය. |
| 8. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී ඔබ සැම දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා ඔබ සැම ස්ථිර කරනසේක. |
| 9. ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකමට ඔබ සැම කැඳවාගත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටිනසේක. |
| 10. ඉතින්, සහෝදරයෙනි, ඔබ සැම සියල්ලන් විසින් එකම දේ කථාකරන හැටියටද, ඔබ සැම අතරෙහි භේද නැතුව එක සිතින් හා එක කල්පනාවෙන් එකඟව සම්පූර්ණව සිටින හැටියටද අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමගෙන් ඉල්ලමි. |
| 11. මක්නිසාද මාගේ සහෝදරයෙනි, ඔබ සැම අතරෙහි විවාද තිබෙන බව ක්ලොයිගේ පවුලේ අය මට දැන්නුවෝය. |
| 12. ඉදින් මාගේ තේරුම නම්, ඔබ සැම එක් එක්කෙනා: මම පාවුල්ගේය; මම අපොල්ලොස්ගේය; මම කේපස්ගේය; මම ක්‍රිස්තුස්වහන්සේගේයයි කියන බවය. |
| 13. ක්‍රිස්තුස්වහන්සේ බෙදී සිටිනසේක්ද? පාවුල් ඔබ සැම උදෙසා කුරුසියෙහි ඇණගසනු ලැබුවේද? නොහොත් පාවුල්ගේ නාමයට ඔබ සැම බව්තීස්මකරනු ලැබුවහුද? |
| 14. මාගේ නාමයට ඔබ සැම බව්තීස්ම කරනලදැයි කියන්ට කිසිවෙකුට පුළුවන් නොවන ලෙස ක්‍රිස්පස්ද ගායස්ද ඇර |
| 15. ඔබ සැමගෙන් වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම නොකළ බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි. |
| 16. ස්තේපනස්ගේ ගෙයි වැසියන්ද බව්තීස්ම කෙළෙමි. ඒ ඇර මම වෙන කිසිවෙකු බව්තීස්මකෙළෙම්දැයි නොදනිමි. |
| 17. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ මා යැවුවේ බව්තීස්මකරන්ට නොව ශුභාරංචිය දේශනාකරන්ටය. නුමුත් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය නිෂ්ඵල නොවන පිණිස, වචනවල ඥානවන්තකමින් (දේශනාකරන්ට) නොවේය. |
| 18. මක්නිසාද කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට ඒක දෙවියන්වහන්සේගේ බලයය. |
| 19. ඒ හැටියට: මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි ලියා තිබේ. |
| 20. ප්‍රඥාවන්තයා කොතැනද? ව්‍යවස්ථාව උගන්වන්නා කොතැනද? මේ ලෝකයේ වාදකරන්නා කොතැනද? ලෝකයාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේ විසින් මෝඩකළා නොවේද? |
| 21. මක්නිසාද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේව ඇඳින නොගත් බැවින්, “දේශනාකිරීමේ මෝඩකම” කරණකොටගෙන අදහන්නන් ගළවන්ට දෙවියන්වහන්සේ සතුටුවූසේක. |
| 22. කෙසේදයත්, යුදෙව්වරු ලකුණු ඉල්ලති, ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. |
| 23. නුමුත් අපි කුරුසියෙහි ඇණගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරමුව. උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය, අන්‍යජාතීන්ට මෝඩකමය; |
| 24. නුමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන්වහන්සේගේ බලය සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවත්ය. |
| 25. මක්නිසාද දෙවියන්වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය; දෙවියන්වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. |
| 26. මක්නිසාද සහෝදරයෙනි, ඔබ සැමගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලන්න. |
| 27. නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක; |
| 28. ඇත්තාවූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල්ද සුළුකොට සිතනු ලබන දේවල්ද දෙවියන්වහන්සේ තෝරාගත්සේක. |
| 29. එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය. |
| 30. නුමුත් උන්වහන්සේ කරණකොටගෙන ඔබ සැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක. |
| 31. එහෙයින්, ලියා තිබෙන ලෙස, ගරුකම් කියන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි ගරුකම් කියාවා. |
|
|
| Sinhala Bible SROV |
| Ceylon Bible Society |