මාතෘකාව පිළිබඳ බයිබල් පද

මාතෘකා
දෙවියන් වහන්සේ
හොඳ චරිතයක්
නරක චරිතය
පව්
ජීවිතය
පල්ලිය
අභිරහස්
දේවදූතයන් සහ භූතයන්
ගණිත සං .ා
අතිරේක
පව්: [කාමමිථ්‍යාචාරය]
අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක් ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැර ය. එහෙත් අනාචාරය කරන්නා තමාගේ ම ශරීරයට විරුද්ධ ව පව් කරයි.
“කාමමිථ්‍යාචාරය නොකරව.
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.
එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත් එය නොකරන්නේ නම්, ඔහු පව්කාරයෙකි.
හෙල් පිටත්, එළිමහනේත් ඔබේ පරදාරකම් ද වෙළඹකගේ මෙන් හේෂාරවය කිරීම් ද ඔබේ දුරාචාර ද සල්ලාලකම් ද සමිඳාණන් දැක ඇති බැවින් ඉශ්රායෙල් ජනයෙනි, ඔබට වන විපතක මහත! කවදා ඔබ පිරිසිදු වන්නහු ද?”
එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.
“සිය බිරිඳ දික්කසාද කොට, අන් ස්ත්‍රියක පාවාගන්නා කවරෙක් වුව ද කාමමිථ්‍යාචාරය කරයි. පුරුෂයකු විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක පාවාගන්න තැනැත්තේ ද කාමමිථ්‍යාචාරය කරයි.”
“තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”
පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි.
[2] විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය. [3] ස්වාමි පුරුෂයා ජීවත් ව සිටිය දී ඈ පරපුරුෂ සේවනයෙහි යෙදුණොත් ඇයට කාමමිථ්‍යාචාරයේ යෙදෙන්නී ය යි කියනු ලැබේ. එහෙත් සිය හිමියා මළ පසු ඈ විවාහ බැම්මෙන් නිදහස ලබයි. ඉන්පසු ඈ වෙන කෙනෙකු සමඟ විවාහ වුවත් කාමමිථ්‍යාචාරය නොකරන්නී ය.
[11] උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. [12] ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක.
[27] “ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත. [28] එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. [29] වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න; මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. [30] වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත. [31] “තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. [32] එහෙත්, මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඔහු ඇය කාමමිථ්‍යාචාරයට පමුණු වන්නේ ය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේ ද, ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය.”
[9] අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නෝ වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්, [10] සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය. [11] තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය. [12] “මා කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම මගේ යහපත පිණිස නොවේ. එසේ ම “කැමැති දෙයක් කිරීමට මට නිදහස ඇතැ”යි කීවත් මම කිසිවකට වසඟ නොවෙමි. [13] “ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය. [14] දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ සේක. ස්වකීය බලයෙන් අපත් උන් වහන්සේ එසේ උත්ථාන කරන සේක. [15] ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහු ද? එසේ නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැර ගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම් ද? [16] එසේ නොවේ වා. ගණිකාවකට සම්බන්ධ වන තැනැත්තේ කායික ලෙස ඈ හා එක් වන බව ඔබ නොදන්නහු ද? ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි ‘දෙදෙනා ම එක් කෙනෙක් වන්නෝ ය.’
[18] එවිට එක් ප්‍රධානියෙක් උන් වහන්සේට කතා කොට, “යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. [19] ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ‘යහපත් ය’යි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. [20] කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න. බොරු සාක්ෂි නොකියන්න, නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න යන ආඥා ඔබ දන්නෙහි ය”යි ඔහුට වදාළ සේක.
[3] දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. [4] ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. [5] දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය.
[20] තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “එහෙත්, මිනිසා කෙලෙසනු ලබන්නේ ඔහු තුළින් නිකුත් වන දෙයින් ම ය. [21] ඇතුළතින්, එනම්, මිනිස් හදවතින්, නපුරු චේතනා, කාම රාග, සොරකම්, මිනී මැරුම්, [22] සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරි ඔතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. [23] මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක.
[17] කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? [18] එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. [19] නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය. [20] මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.”
[18] ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න. [19] සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න. [20] මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද? [21] මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත. [22] දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි. [23] ආත්මදමනයෙන් තොර මිනිසා වැනසෙයි; ඔහු නිම්හිම් නැති අනුවණකමින් මුළා වෙයි.
[4] “ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. [5] මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. [6] ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. [7] ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, “ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා [8] නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. [9] ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. [10] ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, “ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. [11] “ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
[20] මාගේ පුත්‍රය, ඔබේ පියාගේ අනුශාසනා පිළිපදින්න; මවගේ උපදෙස් අත් නොහරින්න. [21] ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න. [22] ඔබ යන එන විට ඒවා මඟ පෙන්වයි; ඔබ නිදන විට රැකවල් කරයි; ඔබ අවදි වන විට අවවාද දෙයි. [23] අනුශාසනාව ඔබට පහනකි, උවදෙස් ඔබට එළියකි, ගුරූපදේශ ඔබට ජීවන මඟකි. [24] නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි. [25] ඇගේ රුවට සිතින් ඇදී නොයන්න; ඇගේ නුවන’ග බැල්මෙන් ඈ ඔබ වසඟ කර නොගනී වා. [26] වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි. [27] ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද? [28] ගිනි අඟුරු මත ඇවිද්දොත්, ඔහුගේ දෙපා නොදැවේ ද? [29] සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි. [30] සොරෙකු සිය සාගින්න නිවාගනු වස් සොරකම් කළත් මිනිස්සු ඔහු වරදින් නිදහස් නොකරති. [31] ඔහු අසුවුණොත් සත් ගුණයක් වන්දි ගෙවීමට සිදු වෙයි; සිය නිවසෙහි මුළු වත්කම ද දෙන්නට වෙයි. [32] පරදාර සේවනය කරන්නා අනුවණයෙකි; ඔහු තම ජීවිතය නාස්ති කරගන්නෙකි. [33] උවදුරු හා අවනම්බුව ඔහුට හිමි වෙයි; ඔහුගේ නින්දාව නොමැකී පවතියි. [34] මන්ද, කාම ක්‍රෝධය සැමියෙකු උදහස් කරලයි; පළිගන්න දවසේ දී ඔහුගෙන් සමාවක් නැත. [35] ඔහු කිසි වන්දි මුදලක් නොපිළිගනු ඇත; කොතරම් තෑගි පිරිනැමුවත් ඔහු සතුටු නොවනු ඇත.
[3] වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය; [4] එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත; දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත. [5] ඇගේ දෙපා මරණය බලා යයි; ඇගේ පියවර පාතාල ලෝකයට යයි; [6] ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය. [7] එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න; මා පවසන ඔවා වදනින් ඈත් ව නොසිටින්න. [8] එවැනි ගැහැණියකගෙන් දුරු වී සිටින්න; ඇගේ දොරකඩට වත් නොයන්න. [9] එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත. ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත. [10] ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත. [11] අවසානයේ දී ඔබේ ඇඟපත දිරා ගොස්, ඔබ කෙඳිරිගානු ඇත. [12] එවිට ඔබ මෙසේ කියනු ඇත: අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි! [13] මම ධර්ම දේශකයන්ගේ බසට කීකරු නොවූයෙමි, ගුරු ඇදුරන්ගේ අවවාදයට කන් නුදුන්නෙමි. [14] හැම නපුරෙහි යෙදී නරක නමක් ලද්දෙමි, ප්‍රසිද්ධියේ ම මහ නින්දාවට පත් වුණෙමි.” [15] ඔබේ ම පොකුණේ ගලන ජලය ද ඔබේ ම ළිඳෙන් උනන වතුර ද බොන්න. [16] ඔබේ උල්පත පිටතට වත්, ජලධාරා වීදියට වත් ගලා යා යුතු නැත. [17] ඔබේ දූදරුවන් අන් අයට නොව, ඔබට ම සතු වස්තුවක් වේ වා! [18] ඔබේ උල්පත වන ප්‍රිය බිරිඳට සව්සිරි වේ වා! ඔබේ යොවුන් වියේ ප්‍රියාව සමඟ ම ප්‍රීතිය ආස්වාදය කරන්න. [19] සුලලිත මුව දෙනක හා සුකොමල පැටියෙකු මෙන් වූ, ඇගේ පියයුරුවලින් විනෝද වන්න. ඇගේ ආදරයෙහි සැමදා ම සතුටින් ඉපිළී යන්න. [20] මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද? [21] මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත. [22] දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.
[1] ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති. [2] එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය. [3] පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. [4] භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය. [5] යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා. [6] මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි. [7] ඔබ හැමට මා මෙන් සිටිය හැකි නම් මම කැමැත්තෙමි. එක් කෙනෙකුට එක විධියකට ද තව කෙනෙකුට තවත් විධියකට ද තම තමන්ට ම විශේෂ වූ දීමනාවක් එකිනෙකා දෙවියන් වහන්සේගෙන් ලබා ඇත. [8] අවිවාහකයන්ට ද වැන්දඹුවන්ට ද මා කියන්නේ මා මෙන් ඔවුන් ද, දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බව ය. [9] එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔව්හු විවාහ වෙත් වා. කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති. [10] විවාහකයන්ට මම මෙසේ අණකරමි. එහෙත් අණ කරන්නේ මා නොව සමිඳාණන් වහන්සේ ය. එනම් භාර්යාව ස්වාමි පුරුෂයාගෙන් වෙන් ව නොයේ වා. [11] වෙන් ව ගියොත් ඈ තනි ව සිටී වා. නැතහොත් ස්වාමි පුරුෂයා හා සමඟි වේ වා. ස්වාමි පුරුෂයා ද සිය භාර්යාව දික්කසාද නොකළ යුතු ය. [12] සෙසු අයට සමිඳාණන් වහන්සේ නොව මම මෙසේ කියමි. යම් සහෝදරයෙකුට කිතුනු නොවන භාර්යාවක් සිටී නම්, ඈ ඔහු සමඟ වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකෙරේ වා. [13] එසේ ම යම් ස්ත්‍රියකට කිතුනු නොවන ස්වාමි පුරුෂයෙක් සිටී නම්, ඔහු ඈ සමඟ වාසය කිරීමට කැමැති නම් ඈ ඔහු දික්කසාද නොකෙරේ වා. [14] මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය. [15] එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේ වා. මෙවැනි අවස්ථාවලින් කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමට ය. [16] ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැළවීම සලසනු විය හැකි ය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැළවීම සලසනු විය හැකි ය. [17] එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය. [18] යමෙකු චර්මඡේදනය ලබා සිටිය දී කැඳවීම ලැබූයේ නම්, ඔහු චර්මඡේදනයේ ලකුණු පහ නොකෙරේවා. යමෙකු චර්මඡේදනය නොලබා සිටිය දී කැඳවීම ලැබූයේ නම්, ඔහු චර්මඡේදනය නොලබාවා. [19] චර්මඡේදනය වත්, අචර්මඡේදනය වත්, වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීම ය. [20] සෑම කෙනෙක් ම සිය කැඳවීම ලැබූ තත්ත්වයෙහි ම පවතිත් වා. [21] ඔබ කැඳවීම ලැබූයේ වහලෙකු ව සිටිය දී නම්, ඒ ගැන කරදර නොවන්න. එහෙත් නිදහස ලබාගැනීමට ඉඩක් ඇත්නම් එයින් ප්‍රයෝජන ගන්න. [22] වහලෙකු ව සිටිය දී සමිඳාණන් වහන්සේගෙන් කැඳවීම ලැබූ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ නිවහලෙකි. එසේ ම නිවහල් ව සිටිය දී කැඳවීම ලැබූ තැනැත්තා ක්‍රිස්තුන් වහන්සේගේ වහලෙකි. [23] ඔබ මිලයකට ගනු ලැබූ අය වෙති. එබැවින් මිනිසුන්ගේ වහලුන් නොවන්න. [24] සහෝදරයෙනි, සෑම කෙනෙක් ම තමා කැඳවීම ලැබූ තත්ත්වයෙහි දෙවියන් වහන්සේ සමඟ පවතිත් වා. [25] අවිවාහකයන් ගැන මට සමිඳාණන් වහන්සේගෙන් ආඥාවක් ලැබී නැත. එහෙත්, සමිඳාණන් වහන්සේගේ කරුණාවෙන් විශ්වාස කටයුතු තැනැත්තෙකු වන මම, මගේ අදහස කියනු කැමැත්තෙමි. [26] මේ කාලයේ ඇති දුක් විපත් නිසා යමෙක් තමා සිටින තත්ත්වයෙහි ම සිටින්නේ නම් යහපතැ යි සිතමි. [27] ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී සිටින්නෙහි නම් ඇයගෙන් නිදහස් වන්නට නොසොයන්න. ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වී නැත්නම් භාර්යාවක් නොසොයන්න. [28] එහෙත් ඔබ විවාහ වූවත් එයින් ඔබට පාපයක් නැත. කන්‍යාවක විවාහ වූවත් එයින් ඇයට පාපයක් නැත. එසේ වුව ද එවැනි අයට මේ ලෝකයෙහි දුක් විපත් ඇති වන්නේ ය. මම ඔබ ඒවායින් වළක්වාලීමට කැමැත්තෙමි. [29] සහෝදරවරුනි, මේ දේ කියනු කැමැත්තෙමි. එනම් වැඩි කාලයක් ඉතිරි වී නැත. මෙතැන් සිට, [30] භාර්යාවන් ඇත්තන්, භාර්යාවන් නැත්තන් මෙන් ද, හඬන්නන් නොහඬන්නන් මෙන් ද, ප්‍රීති වන්නන් ප්‍රීති නොවන්නන් මෙන් ද, මිලයට ගන්නන් ගත් දෙයට අයිතියක් නැති අය මෙන් ද, [31] මෙලොව සැපසම්පත් භුක්ති විඳින්නන්, ඒවායේ ම ඇලීගැලී නොසිටින්නන් මෙන් ද සිටිය යුතු යයි මම ඔබට කියමි. මන්ද, දැන් පවතින මේ ලෝකය පහ වී යන්නේ ය. [32] ඔබ සිත් තැවුලින් තොර ව සිටිනවාට මම කැමැත්තෙමි. අවිවාහක තැනැත්තේ සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේ දැ යි සිතමින් උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. [33] විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේ ය. [34] මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී. අවිවාහක ස්ත්‍රිය හෝ කන්‍යාව හෝ ඈ ශාරීරික ලෙස හා ආධ්‍යාත්මික ලෙස සමිඳාණන් වහන්සේට කැප ව සිටින සේ උන් වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම පුරුෂයා සතුටු කරන්නේ කෙසේ දැ යි සිතමින් ලෝකයේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නී ය. [35] මා මෙය කියන්නේ ඔබගේ ම යහපත පිණිස ය. ඔබගේ නිදහස සීමා කිරීමට මගේ අදහසක් නැත. මගේ කැමැත්ත නම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිඳාණන් වහන්සේට සේවය කිරීම ය. [36] යමෙක් දැඩි රාගික ඇල්ම නිසා තම විවාහ අපේක්ෂිකාව පිළිබඳ ව තමා සුදුසු ලෙස ක්‍රියා නොකරන බවත්, විවාහ වීම යුතු බවත් ඔහුට හැඟේ නම්, ඔහුගේ කැමැත්ත අනුව, ඔව්හු විවාහ වෙත් වා. එහි පාපයක් නැත. [37] යමෙක් විවාහ නොවීමට ස්ථීර ලෙස අදහස් කර ඇත්නම්, යම් කිසි බලපෑමක් ද නැත්නම්, තමාගේ සිත සම්පූර්ණයෙන් දමනය කිරීමට ද ඔහුට හැකි නම්, සිය විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ නොවීම යහපති. [38] මෙසේ විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ වන්නා කරන්නේ හොඳ දෙයකි. විවාහ නොවන්නා කරන්නේ වඩාත් හොඳ දෙයකි. [39] භාර්යාවක් සිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු ඔහුට බැඳී සිටින්නී ය. ස්වාමි පුරුෂයා මළොත් ඈ කැමැති කෙනෙකු සමඟ විවාහ වීමට ඈට නිදහස ඇත. එහෙත් එය ක්‍රිස්තියානි විවාහයක් විය යුතු ය. [40] ඈ සිටින ලෙස ම සිටින්නී නම්, වඩා වාසනාවන්ත ය. එය මගේ අදහසයි. එපමණක් නොව, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මා තුළ වැඩ වසන බව ද, මම විශ්වාස කරමි.
Sinhala Bible NRSV
Ceylon Bible Society